Saturday, February 25, 2017

සයිටම් වාරං


පාස් වුනා   සිස්සත්තේ........
සාපෙ නවය ඒ ගත්තේ........
ලෙවල් ඒ ට ඒ ගත්තේ........
ටියුෂන් නැත්නම් නැත්තේ..

ඉසෙඩ් කෝ යි පිළිගත්තේ...
ඒ තුනටත් නොම ගත්තේ....
දොස්තර සිහිනය මත්තේ.....
එල්ලෙන්නද කොස්  අත්තේ

කොන්දොස්තර තමයි පුතේ.
ගමේ එවුන් හිනා කතේ.......
දෙමාපියන් සරණ වෙතේ....
වෙද කඩයයි පිහිට පුතේ......

වෙද ගුරු ටික ඔය පැත්තේ..
සල්ලි පුදල අපි ගත්තේ.......
වැහුවම අපි එක අත්තේ......
කළු පාටද? වෙද මුත්තේ.......
No automatic alt text available.
Image may contain: text

නොමග නොයන් අවිචාරේ 

ඒ තුනටත් මහපාරේ
ඒ නැතිවත් මහපාරේ
අසු නවයෙ ගිය පාරේ
නොයන් පුතේ මේ වාරේ
හැත්තැ එකේ මහපාරේ
අසුනවයෙ මහපාරේ
සිසු ලේ බිඳු ගිය දෝරේ
නොයන් දුවේ ඒ පාරේ
අපේ එවුන් ගිය පාරේ
නොම ආවේ ඒ වාරේ
ටයර් දැවුන මහ පාරේ
නොමග නොයන් අවිචාරේ 

Saturday, September 10, 2016

ගජමන් නෝනා

රුහුණු පුරවරයේ මහා කිවිඳිය ලෙසින් ප්‍රසිද්ධ වූ ගජමන් නෝනා ඒ අවධියේ සිටි උගත් පිරිස්‌ අතර, කැපීපෙනෙන දක්‍ෂකමින් හෙබියාවූ කාන්තාවක්‌ වූවාය. එදා රුහුණේ සිටි කවි කිවිඳියන් අතර ප්‍රධාන තැනක්‌ ගත් ගජමන් නෝනාගේ පිය පාර්ශ්වය රටේ නමගිය නිලමක්‌කාර පවුලකට අයත් වූ පිරිසකි.

ගජමන් නෝනාගේ පියාවන ගජමන් ආරච්චි මුලදී හැඳින්වුණේ වීර්තමුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්‌කු සේනාරත්න කුමාර පෙරුමාල් යන නමිනි. මේ පෙරුමාල් පරම්පරාව පැවත එන්නේ කෝට්‌ටේ යුගයේ හා සීතාවක යුගයේ සිටි පෙරුමාල් පරම්පරාවලින්ය. මේ පෙරුමාල් පරම්පරාවල මුල් පෙරුමාල්වරයා වන්නේ ඉතිහාස කතාවට අනුව "අරිට්‌ටකී වෙණ්‌ඩුය" ඒ ඉතිහාස කතාව කොයිහැටි වෙතත් පෙරුමාල් පරම්පරාවේ තෝම්බුව ලියන ලද්දේ අලගියවන්න මුකවෙටිතුමා විසින් බව කියෑවේ. මේ කියන ගජමන් ආරච්චි හෙවත්, දොන් ප්‍රැන්සිස්‌කු ද සේනාරත්න කුමාරප්පෙරුමාල් සිංහල භාෂා උගතෙක්‌ ලෙස ප්‍රකටය. එම යුගයේ උනන පන්සලේ වැඩවිසූ පඬිරුවනක්‌ වන සිටිනාමලුවේ ධම්මජෝති උගතා මගින් ශාස්‌ත්‍රය හැදැරූ තවත් පිරිස්‌ වූහ. වේහැල්ලේ ධම්මදින්න, වීර්තමුල්ලේ දොන් දාංචි ද සිල්වා, අභය ගුණවර්ධන, ගණිතාචාර්ය භරණ, ඒ අතර ප්‍රධාන තැනක්‌ ගනී. ගජමන් නෝනාගේ පියාවන ගජමන් ආරච්චිද සිටිනාමලුවේ සිල්වතාගෙන් ශිල්පය ලබාගන්නට ඇතැයි සිතිය හැකි වේ. එහෙත් එය කිසිතැනක සඳහන් නොවන අතර අපගේ විශ්වාසයක්‌ පවතී.

මේ යුගයේදී ගිරුවාපත්තුව පාලනය කළ රණසිංහ තෙන්නකෝන් මුදලිවරයාට මෙම කුමාරප්පෙරුමාල් තරුණයා පිළිබඳව දැනගන්නට ලැබේ. ඔහු තමාවෙත ගෙන්වා ලියනප්පු වැඩය භාරදුන්නේය. තම රාජකාරිය අකුරට ඉටුකළ මේ ලියනප්පු තෙන්නකොන් මුදලිගේ හිත් ගත් අතර, රාජකාරිමය වශයෙන්ද ඔහුට ගරුසරුවක්‌ රට්‌ටුන්ගෙන් ලැබුණි. වරක්‌ ඕලන්ද පාලකයා හමුවීම සඳහා තෙන්නකෝන් මුදලි ගිය ගමනකදී ඊට කුමාරප්පෙරුමාල් ලියනප්පු ද සහභාගි කරගති. එහිදී පාලකයාට කුමාරප්පෙරුමාල් පිළිබඳවද හොඳ හැඳින්වීමක්‌ කළේය. එදා කුමාරප්පෙරුමාල් පිළිබඳව පැහැදුන ඕලන්ද පාලකයා වසම් කීපයක ආරච්චි පයින්ඩය ඔහුවෙත පවරන ලද අතර එදා සිට ඔහුට ගජමන් ආරච්චි යන නම පටබැඳුනි. වසම්වල සිටි උදවිය ඔහුව ඇමතුවේ "ගජමන් ආරච්චි" කියාය. දොන් කොර්නේලියා හෙවත් ගජමන් නෝනා ද තම පියා ගජමන් ආරච්චි බව පවසමින් ඔහුගේ මරණයේදී ශෝක කවි රචනා කර ඇත. 

ගජමන් නෝනාගේ මව පල්ලියේ ගුරුවරියක ලෙසින් කටයුතු කළ අතර ඇයට මව්පිය ආභාෂයෙන් උගත්කම උරුම වූවාය. ඒ අතර ගුරුවරුන් ගෙදරට ගෙන්වා අධ්‍යාපනය ලබාදීම එකල සිරිතක්‌ වූ නිසා ගජමන් නෝනාටද ඉගෙනීමට සිදුවූයේ ගෙදර පාසලෙනි. ඇගේ මාමාවූ පත්තායමේ ලේකම් මගින් කාව්‍යකරණය පිළිබඳව හොඳ අවබෝධයක්‌ ලබාගත් ඇය පසුව කවිකරණයට බැස්‌සේ එකල පරිණත කවීන් හා තරගයට කවි රචනා කරමින්ය. ඒ යුගයේ එසේ කවියට තරගයක්‌ වූයේ කවිය භාෂාවේ අවියක්‌ වූ නිසාය. ඇතැම් කටකථා වලට අනුව ඒ යුගයේ ගැහැනු අයට පන්සලේ අධ්‍යාපනය ලැබීමේ වරම හිමි නොවුණු නිසා ගජමන් නෝනා පිරිමියකු මෙන් වෙස්‌ගෙන පන්සලට ගොස්‌ අධ්‍යාපනය හැදැරූ බවට ඇති තොරතුරු අසත්‍ය යෑයි කිමට නොහැකිය මන්ද? ඒ යුගයේ එවැනි වැඩ තිබූ නිසාය. මේ මගින් ඇය පාලි, සංස්‌කෘත, අලංකාරය පිළිබඳව වැඩි දැනුමක්‌ ලබාගනී.

එම යුගයේ ලන්දේසි ආරට සැරසුන කාන්තාවන්ට නෝනා යන ඇමතුම යෙදූ නිසා ඇයට ගජමන් නෝනා යන්න භාවිත වූ බවට ඇති අදහස්‌ සත්‍ය විය හැකිය. ඇය සැබවින්ම රූමත් තරුණියක වූවාය. කලවයස සම්පූර්ණ වෙද්දීම ඇගේ මුල් විවාහය සිදුවුණේ. තල්පේ වසම කළ මෙරංචිගේ ගාර්දියෙස්‌ ආරච්චි සමඟයි. එය ඉතාමත් පිවිතුරු ආදර බර විවාහයක්‌ විය. දෙදෙනාම බොහෝ ආදරයෙන් කල දවස ගෙවූ බව කියවේ. දෙදෙනාම දක්‍ෂ ලෙස කාව්‍ය රචනා කළ නිසා අද අපට ඒවා රසවිඳීමට අවස්‌ථාව ඇත. දිනක්‌ ගාර්දියස්‌ ආරච්චි රාජකාරියට යැම සඳහා පිටත්වන විට මෙසේ කවියක්‌ කියා ඇත.

යන මේ ගමන් සිදුවුනි නම් පර මා ද 
එන තුරු අන් දෙස නොබලන් සිතු පෑද 
අලපත පැන් වැනි විලසින් නොව හාද 
සිහිව ගනින් ළඳ මා දුන් අව වාද 

ගජමන් නෝනා මේ කවිය අසා සිනාසුනාය. එහෙත් ඇගේ පිවිතුරු ස්‌වාමිභක්‌තිය මුසුකරමින් ගත් කටටම මෙසේ කීවාය.

හිමියන ගමන්වල අඟනුන් නොව සාද 
එනු විගසින් එහි නොවෙමින් පරමා ද 
හිමියනි, දැන් ඔබ මට දුන් අවවා ද 
මම ඉවසමි මදරද ඉවසුම් දේ ද?

හාස්‍ය රසය මුසු කරමින් ඉතාමත් දක්‍ෂලෙස දුන් කවි පිළිතුරු කොතරම් රසවත්ද? මේ මුල් විවාහයෙන් ඇයට පිරිමි දරුවකු හිමිවූ අතර ගාර්දියෙස්‌ ආරච්චි අකාලයේ මියෑදුනේ ඇගේ අවාසනාවට මෙනි. එම මරණය නිසා "ජුවානිස්‌ අල්විස්‌" නම් වූ ඇගේ කුළුඳුල් දරුවාත් ඇයත් තනිවූහ. එහෙත් ඇගේ රූසපුවත් උගත්කමත් දුටු බොහෝ දෙනා ඇගේ අතගැනීමට වෙහෙසෙන ලදී. ඇගේ පියාවන ගජමන් ආරච්චිගේ ඉල්ලීමකට අනුව ඇය යළිත් මාතර උයන්වත්තේ දොන් ගේබ්රියෙල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟ විවාහ වූවාය. මේ විවාහය නිසා ඇයට දොන් ගිරිගෝරිස්‌, දොන් දාවිත්, දොන් දියෙස්‌ යන පුතුන් තිදෙනෙක්‌ ලැබුණි. විමලසේකර මුහන්දිරම්ද අකාලයේ මරු වැළඳගති දැන් ඇය දරුවන් හතරදෙනක්‌ හිමි කණවැන්දුම්යකි. ජීවත්වීමද බොහෝසේ අමාරු වූ අතර ඇය ඒ සඳහා යම් යම් උපකල්පයන් සිදු කළාය. ඇය ගැහැනු දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීමට ගෙවල්වලට ගියාය. ප්‍රශස්‌ති කාව්‍ය රචනා කරමින් එක්‌ එක්‌ අයගේ ගුණ ගායනා කළාය මේ නිසා ඇයට මුදල් ලැබුණි. එහෙත් ඒ ජීවත්වීමට ප්‍රමාණවත් නොවිණි. මෙසේ දුක්‌ගනි උහුලද්දී තම පියා අලියකුගේ ප්‍රහාරයකට ලක්‌ව 1801 දී මියගියේ තමන් පොළව මත ඉතා අසරණබවට පත් කරමින්ය. සිය පියාගේ වියෝවත් සමඟ ඇයට අපල කාලය උදාවුණු අතර ජීවන බර නිසා ඇගේ රූ සපුවද අකාලයේ වැහැරුනි. ඈ දුක්‌ගැනවිලි කවියෙන් ලියා ඩොයිලි දිසාපති වෙතද යවා ඇත. ගජමන් නෝනා පිළිබඳව හොඳ මෙන්ම නරකද එමට ඇත. ඇය සල්ලාල ස්‌ත්‍රියක බවට නැඟෙන චෝදනාද මේ අතර වේ. එහෙත් උගත් ස්‌ත්‍රියක වූ ඇය සමාජශීලී ගතිය නිසා මේ චෝදනාවලට ලක්‌වූ බව කියෑවේ. ඇය සමහර අවස්‌ථාවලදී තම දුක්‌ගැනවිලිද මෙසේ කවියට නගා ඇත.

සඳ මෙන කවා ඇතිකළ ළම පැටවුන් ට 
අද දින පමණ නැත බත උන් රැකගන් ට 

මේ අනුව බලනවිට අපට පෙනී යන්නේ බොහෝ සරුසාර ලෙස ජීවිතය ගතකළ දොන් කොර්නේලියා හෙවත් ගජමන්නෝනාට බොහෝ අගහිඟකම් හා අත මිට අමාරුකම් තිබුණ බවයි. මේ කාලයේ ගජමන් නෝනාගේ අගහිඟකම් වටහා ගත් ඇගේ සීයා (මවගේ පියා) ඇගේ දරුවන් දෙදෙනෙක්‌ තම භාරයට ගෙන උගන්වා හදාවඩාගත් අතර තම බාල පුතණුවන් වන දොන් දියෙස්‌ වේරගම්පිටියේ පන්සලේ උගන්නේය. ගජමන් නෝනාට එදා නොයෙක්‌ අය වෙතින් ඇය සල්ලාල ස්‌ත්‍රියක බවට චෝදනා නැඟුනේ ඇගේ ප්‍රියමනාප හැසිරීම් රටාව නිසා විය හැක. ඇය කා සමගත් කුලෑටි කමින් තොරව සමාජයේ හැසිරුනාය. තනිව ගමන් බිමන් ගියා, මෙන්ම ඕනෑම අයෙකු සමඟ විවෘතව ඇසුරුකළාය. මේ නිසා ඇයට පද හැදුනි. අදත් අපේ සමාජය එසේය. සමහර මුදලිවරු ගජමන් නෝනාගේ ඇසුර ප්‍රියකළේ ඈ රූමත් නිසාය. ඇය සමඟ ගමන් යැමටද සමහර මුදලි මුහන්දිරම්වරු ඇරයුම් කළ අතර ඇය ඒවා ප්‍රතික්‍ෂේප කළේ සමාජය පිළිබඳ විනිවිද දකින නුවණක්‌ ඇති බැවිනි.

එක්‌තරා මුදලිතුමෙක්‌ වරක්‌ ඇයට මෙසේ ආරාධනය කර තිබුණේ කවියෙනි. එය මෙසේය. 

පන්නා පත් තිරිඳු රිවි උදය වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ ගාලක
පන්නා මදන බිතයෙන් ඉඳ නොවී සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල දවාලක

ගජමන්නෝනා ඔහුට මෙසේ ලියා දැන්වීය.

තුනුවිල බලන්නට මුගේ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුනිය දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ දවාලක 

ඇය නොනිසි දේට පිළිතුරු දුන්නේ දැඩි ලෙසිනි. 

ඇගේ රූ සපුවට වශී වූ එක්‌තරා හිමිනමක්‌ සිවුරු හැර ඇය විවාහ කරගැනීමට කැමති බැව් දන්වා ඇයගෙන් විමසා තිබුණි.

රති රුති ළඳ ලියෙනි අප අසන පැන කිය
නැතිවිය බාල කාලේ සිට රති කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය
රති සැප විඳින සැටි මට කියව ළඳ ලිය

මෙය හොඳින් වටහාගත් ගජමන් නෝනා පැවිදි සැපත මෙන් සැපතක්‌ ලෝකයේ නැති බවත් රති සැපත තුච්ඡ සැපතක්‌ ලෙසත් හිමියන්ට දැන්වීය.

වහා තිබු සළුව උනමින් කර අහකා
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා
පහා නොව හඬන කොවිලිඳු හඬ වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා"

මේ කොතරම් උපහාසාත්මක ද? යන්න විමසා බලන්න. ඇය රති සැපතට ගිජු නම් කිසිම කිසිදාක මෙසේ ලියා නොයවනු ඇත.

ඇලපාත මුදලිද ඉතා දක්‍ෂ කවිකාරයෙකි. ජීවිතය තනියම ගත කරන ගජමන් නෝනා ගැන ඔහු බොහෝ සේ වද වුණේය. එහෙත් ගජමන් නෝනා ඇලපාත ගැන හොඳින් දනී. වරක්‌ ඇලපාත මෙසේ විමසීමක්‌ කළේය.

චන්ද සූරියා වැනි ළඳෙ තිගෙ උවන 
ඉන්ද නීල දෙක වැනි ළමැද ඇත තන 
අන්ධකාරයට දැල්වූ පහන මෙන 
කින්ද යහන තනියම නිදනේ නෝන" 

ඇය ඇලපාතට සරලව මෙසේ ලියා යෑව්වාය.

බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මට හොඳයි දැන් තනියම යහන 
වින්ද රති සැපත මට අමතකව යන 
කින්ද? දැන් ඔහෙට විමසන්ට කාරණ 

ඇය ඇගේ දුක්‌ගැනවිලි කියමින් උසස්‌ නිලධාරීන්ටද කවියෙන් ලිපි ලියා ඇත. ඒවාට ඇයට සහනයක්‌ද ලැබුණ බව සමහර තැනක දැක්‌වේ. කෙසේ වෙතත් ඇගේ උගත්කමින් හෝ ඇගේ කවිකමින් ඇයට අවසාන භාගයේ වාසියක්‌ ලැබුණ බව නොපෙනේ. මාතර යුගයේ සිංහල කවියට මහා සේවයක්‌ සිදුකළ ඇය 1814 දී මියගියේ අසරණවය.

ගජමන් නෝනා සිය කවිත්වය ප්‍රකට කළේ පුංචි අවධියේමය. ඇය පුංචි අවධියේ ළිඳට ගිය මොහොතක ඇගේ පුංචි කළ ගෙඩිය හැංගූ අයෙකුට ඇය කවියෙන් දොස්‌ තැබුවේ මෙසේය.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ 
අටපහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්ඩ දෙනවද මගෙ පුංචි කළේ 

ඇගේ කවිත්වය ප්‍රකට කළ තවත් නිර්මාණයක්‌ නම් දෙණිපිටියේ නුගරුක වර්ණනාවයි" අද "දෙණිපිටියේ ඒ ඓතිහාසික නුගරුක දක්‌නට නැතත් ඇගේ කාව්‍ය ප්‍රබන්ධය අප අතර ඇත. ගජමන්නෝනා ජනකවි ආරට මෙන්ම ප්‍රබුද්ධ ආරටද බොහෝ රචනා සිදුකර ඇත. අද ඇය අප අතර නැතත් ඇගේ නිර්මාණ රසවිඳීමේ හැකියාව අපට ඇත. එදා ඉතා කටුක පරිසරයක අත්දැකීම් ලබමින් ජීවත්වූ ඇයට අවසාන භාගයේදී හැමගේම පිහිට යෑදීමට සිදුවූයේ කලාකරුවන්ට අත්වන ඉරණම පසක්‌ කරමින්ය. කිසිවෙකුට බිය නොවූ ඇය පහරට පහර ගැසුවේ අභියෝගයනට මුහුණ දෙමිනි. ඒ සඳහා ඇයට බෙහෙවින් උපකාරීවූයේ පන්සල් අධ්‍යාපනයයි. ඇය උපතින්ම ක්‍රිස්‌තියානි පරිසරයක හැඳුණු වැඩුණු තැනැත්තියක වුවත් ඇගේ සියලුම කටයුතු කාරණා සිදුවුණේ බුද්ධ ධර්මයට අනුවය. ඇය වැඩියෙන්ම ඇසුරුකළේද පන්සලයි. අදත් ඇගේ නම අපේ මතකයට අපට හොරා අතුළු වන්නේ ඇගේ රචනා වල ඇති සුගම බව නිසාය. ඇගේ රූප ශෝභාව ඇගේ කවි තුළිනුත් අපට දැකිය හැකිය.

Tuesday, March 10, 2015

 ජනකවිය" #2
අද මම අපේ කවි කිවිඳියන්ට දායාද කරන්න යන්නෙ අපේ පැරණි කමත් කවි.කොල මඩවනකොට සීපද කිව්ව වගේම කමත් කවිත් ගායනාකළා. අපේ පැරණි ගොවියා මේ හැමතැන්කදිම බුදු දහමට මුල් තැනක් දුන්න. ඕනෑම සුබ වැඩක් පටන් ගත්තෙ ත්‍රිවිධ රත්නයට නමස්කාර කරල. ඒවගෙම ගොයම් මඩවන මීහරකටත් ගරුකළා. "මීහරක " කිව්වෙනෑ. "අම්බරුව" කියලයි කිව්වෙ." වහු දරුව" කියල කිව්ව. කමත පූජණීය ස්ථානයක් උනා. ඉතින් මේ හරක මරල අපි කොහොමද මස් කන්නෙ? කියලත් මට එක වෙලාවකට හිතෙනව. කොහොම වෙතත්, අපේ කමත් කවිත් අපි අධ්‍යයනය කරල දැනුම ටිකක් වැඩිකරගමුකො
බුද්ධං. සරණේද බලේ---ධම්මං සරණේද බලේ
සංඝං සරණේද බලේ---මෙතුන් සරණ කමත තුලේ
ඉරු දෙවියෝ වැඩිය තැනේ---බොල්පිණි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ---කලුවර නොතිබෙයි එතැනේ
මහ ගජතුන් බැන්ඳතැනේ---කණුමුල් නොතිබෙයි එතැනේ
සැම දෙවියන් වැඩිය තැනේ---උවදුරු නොතිබෙයි එතැනේ
වී සහ බිජු වපුළ කලට---ගිරානිල්ල වෙන තරමට
දිය බඳිමින් නිසි තරමට---හීන් බණ්දි වෙන ගොයමට
දිය බඳිමින් නියර උසට---කිරි දීකිරි වදින කලට
කරල් නැමී නැගෙන හිරට---ගොයම් පැසී තිබෙන කලට
නැකත් බලාගොයම් ලියා---කමතට නිසි බිමක් හොයා
නැකත් බලා කමත ලියා---කමත වටට වැල් ඇදයා
කමතත් සැහැ කවය ලෙසට---කැටකර කැට කඳු සමකොට
වටටම වටමළු එක්කොට---කමත සුද්ද කර විගසට
කමත මැදින් අරක් වළක්--- ඒ මැද්දේ ගොන් කණුවක්
කණුවේ මැද පුවක් මලක්---ගොන් කණුවේ ගල ඔටුවක්
දවට පිළල සරි කරගෙන---දෙහි පිළලත් සරි කරගෙන
නුග පිළලත් සරි කරගෙන---බුලත් පිළල හරි කරගෙන
දොඩම් පිළල සරිකරගෙන---ඉළුක් පිළල සරි කරගෙන
ගොයම් පිළල සරි කරගෙන---පිළල හතම සරි කරගෙන
අරක් බෙල්ලා හරිකර ගෙන---රබ්බඩ ගෙඩි හතක් රැගෙන
කදුරු කොලද හරි කරගෙන---වරකා ගැටයක් අරගෙන
මී ගෝරෙන් හරි කර ගෙන---නයි ගෝරෙන් හරි කරගෙන
එළු ගෝරෙන් හරි කරගෙන---අස් ගෝරෙන් හරි කරගෙන
ඇත් ගෝරෙන් හරි කරගෙන---ගොන් ගෝරෙන් හරිකරගෙන
මුව ගෝරෙන් හරි කර ගෙන---ගෝර හතම හරි කරගෙන
රිදී රත්තරන් ඇරගෙන---තඹ පිත්තල සපයාගෙන
ලෝකඩයෙන් වාන් රැගෙන---යකඩෙන් දෑකැත්තක් ගෙන
රත්න ජාති හැකි පමණින---මුතු ඇටයක් සුරැකිව ගෙන
පබළුත් සපයා ඇරගෙන---මෙකී සෑමදේ අරගෙන
නැකත් බලා අරක් තියා---අරක් වළේ බැතත් තියා
ඊට උඩින් ගොයම් තියා---මෙකී ලෙසට නිවැරදෙයා
හරක් ගෙනත් කමත තුලට---බාන් වැලක් රැගෙන අතට
ගලතාලා නිසි හැටියට---දෙවියන් සිහිකරගෙන සිට
මුදුණේ යන ගොන් රජුනේ---ඊලඟ යන වයිරයනේ
කලාත යන නාම්බනේ---මඩව දමව් විගසකිනේ
අං දෙක රං ගාවං ඤ්ඤා---කන් දෙක මුතු අමුනංඤ්ඤා
හුණරේ මුතු අමුනංඤ්ඤා---මෙකී ලෙසට සරසංඤ්ඤා
ගොන් යන්නේ කඳු බොඩළුෑ---අලතන්නේ කරවැලළුෑ
පළඳින්නේ මුතු පබළුෑ---වළඳන්නේ කිරි මදුළුෑ
මේ කොතනින් ගෙනා ගොනා---රුහුණු රටින් ගෙනා ගොනා
මේ කුමකට ගෙනා ගොනා---කොළ මැඩුමට ගෙනාගොනා
මේ කොතනින් ගෙනා ගොනා---පිහිටි රටින් ගෙනා ගොනා
මේ කුමකට ගෙනා ගොනා---කොළ මැඩුමට ගෙනා ගොනා
මේ කොතනින් ගෙනා ගොනා---මාය රටින් ගෙනා ගොනා
මේ කුමකට ගෙනා ගොනා---කොලමැඩුමට ගෙනා ගොනා
නිමල් (ඇ එ ජ