Tuesday, November 4, 2014

දාඩිය නොම ගලන ආහාර ගන්ට            එපා
ගමනක් ගොසින් එළියක් ගෙන එන්ට     එපා
ගොවිතැන් කර වැට කොටු බැඳලන්ට    එපා
මුදලක් ණයට දීලා ඉල්ලන්ට                 එපා

To be Added

ජනකවියේ එන උපදෙස් කවි බොහෝ විට උගතුන්ගේ, වියතුන්ගේ නිර්මාණය. එබැවින් එම උපදෙස් කෙලින්ම නොකියා ව්‍යාංගාර්ථයෙන් පැවසූ අවස්ථාවකි ඉහත උදාහරණ කවිය. මෙහි එකවර පෙනෙන අරුත අනුව වැඩ කළ මෝඩ මිනිසෙකු තම සේසතම අහිමි කරගෙන, රාත්‍රිෙය් එළියක් ද නොමැතිව කලුවරේම ඇවිද තුවාල සිදු කර ගත් පුවතක් ද ජනප්‍රවාදයේ ඇත. එහෙත් මෙහි සැබෑ අරුත වන්නේ, කිසිදු වැඩක් පලක් නොකොට දහඩිය නොහෙලා කෑම නුසුදුසු බවත්, ගමනක් යනවානම් කලුවර වන්නට පෙර ආපසු ආයුතු බවත්, ගොවිතැනට පෙර පළමුව වැට කඩොලු බැඳ තැබිය යුතු බවත්, කිසියම් මුදලක් ණයට දිය යුත්තේ ආපසු ඉල්ලමින් පසුසසින් යා යුතු කෙනෙකුට නොව, නියමිත දිනට තමාට ගෙනැවිත් දෙන කෙනෙකුට බවත් ය.

To be Added

හෙළ ජන කවි සාහිත්‍යයේ තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ උපදෙස් කවි යි. ජන ජීවිතයේ බොහෝ අවස්ථාවල අනෙක් අයට ලබා දිය යුතු උපදෙස් කවියෙන් ලබාදීම එකළ වියතුන්ගේ සිරිත වී තිබින. පවුල් ගැටලු, විවිධ ක්‍රීඩා, ගොවිතැන, ආගම දහම හා විවාහ අවස්ථා ආදියේ දී ජන කවියා තමාගේ අත්දැකීම් ද යොදා කවියකින් සමාජයට අනගි උපදෙස් ලබා දී තිබුනි. වෙනත් ජනකවි මෙන්ම උපදෙස් කවි ද පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් ම පැවත ආවද, වෙනත් කවි වර්ග වලටත් වඩා අද දවසේ වියත් සාහිත්‍යධරයෝ මෙම උපදෙස් කවි තම නිර්මාණ වලට යොදා ගනිති.

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්    ල
හානා හීය පානා අඞහැරෙන් දැ            නේ
පැණි වරකා ගහටත් හෙණ නොවදී         ද
දුවන මුවන් දැක නොදමව් නෙලූ ප        ලා
නිල මැස්සා විතරයි පණ ගිය දා              ට
තමන්ගේ තරම දැනගෙන කල් ගෙව      නු

     ආදී වැකි වලින් මෙය පැහැදිලි වේ. එසේම මෙම බොහෝ වැකි යෙදෙන්නේ එය ඇතුලත් වන කවියේ අවසන් පේලියටය. පළමු පේලි තුනෙන්ද කිසියම් උපදෙස් ලබා දී ඇත.

සූරිය උදාවන තුරු පිණි බෑවිල්              ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්        ල
මාරුව බල බලා හිත යට කැරකිල්         ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්  ල

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ     කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ       පනිනු
කඩුල්ලේ තරම දැනගෙන කද            බඳිනු
තමන්ගේ තරම දැනගෙන කල්           අරිනු

පොත පත ඇසුරු කිරීමේ දී ජනකවි සාහිත්‍යය තුළ උපදේශ කවි විශාල ප්‍රමාණයක් දැකිය හැක.  උපදේශය ලබාදීමට පෙර සාමාන්‍ය ජනයාට හුරු පුරුදු උපමා යොදමින් මෙම කවි නිර්මාණය කර තිබීමෙන් අපට පැහැදිළි වන්නේ පෙර උගතුන්ගේ, දැනමුත්තන්ගේ දැනුම ඔවුන් විසින් පොදු සමාජයට ඉතා සරල ලෙසින් හා ප්‍රයෝජනවත් ලෙසින් ලබා දී ඇති බවයි.

පුරාණ සිංහල සමාජයේ අප්‍රකට ජනකවියා අතින් මෙන්ම කාව්‍ය රචනයේ යෙදුනු මහා වියතුන් ද ගැහැනුන්ගේ පතිවෘත්තාව හාස්‍යයට ලක්කොට ගැරහීමට ලක්කරනු ලැබුයේ කුමන හේතුවක් නිසාද යන්න මහත් ගැටළුවකි . එය අද අපට දුලබ දසුනක් වු නරියන්ගේ චර්‍යාවන් අපහාසයට ලක්කරමින් ,කපටිකමට උදාහරන කර ගනිමින් ගෙතූ කතාන්දරයක් වැනියැයි මට සිතේ. කෙසේ වෙතත් පිරිමින් ගේ සල්ලාලකම්ද ජනකවියා හාස්‍යට ලක්කර නැතුවාම නොවේ මේ එයට උදාහරන යක්
‘‘ මිදුලෙන් එන සංඥාවක් සමගින් රෑට එලියට යන තම සැමියා ගේ හොරය ඉව වැටුනු බිරින්දෑ අවස්තාවක් එනතුරු කල් බලමින් සිටියේලු . එක් දිනක් රෑ රාත්තියේ එලියට බහින්නට හදන ස්වාමියාගෙන් ‘‘මේ කොහෙද යන්න හදන්නේ ඇසු විට‘‘ සද්දයක් ආව මම පොඩ්ඩක් එලියට ගිහින් බලන්නම් කීවේ මෙසේය
මීයා ඇවිත් වහලේ කනවා වද්ද
මීමා ඇවිත් අන්විට තලනව වද්ද
බල්ලා ඇවිත් දොරකඩ ලගිනව වද්ද
උඹ නිදයපන් පොරවාගෙන ඉහ රෙද්ද
වහා පැදුරෙන් නැගිටි ගැහැණිය,
මීයා නම් උගුලක් අටවා එඤ්ඤා
මීමා නම් කණුපොලෙ බැඳලා එඤ්ඤා
බල්ලා නම් බත් කොලපත ගෙන දෙඤ්ඤා,
පවසමින් ඉලපතත් රැගෙන මිදුලට ගියාය.තුස්නිම්භුත වු සැමියා අන්ද මන්ද කරමින් මොහතකින් ආපසු කාමරයට ආ ඇය මෙසේ පැවසුවේලු
මීයා ගියා මී උගුලට රිං ගන්ඩ
මීමා ගියා ලන්දේ රත්තන කන්ඩ
බල්ලා ගියා බලු රෑණට එක් වෙන්ඩ
ඉලපත ආ වැඩුව අරකිට චු යන්ඩ
දුම්බර ගෙදර නැන්දා
==============
කෙස්ස කළු කරගන්න...දස්සයි
කෙක්ක දුම්බර ගෙදර නැන්දයි
හොස්ස අග පියඹනා...මැස්සයි
කොස්ස අරගෙන වටේ ගස්සයි
විස්ස තිහෙ කොල්ලන්ව රුස්සයි
වැස්ස වාගේ සිනහ.......වස්සයි
උස්ස ගත්තට ඇයට.......පුස්සයි
කුක්ක දිව්වෙම කික්කි පස්සෙයි
මාටිනා ඇගෙ ගෙදර ලොක්කයි
නොවටිනා අවලංගු.......මස්සයි
රැවටුනා මම නිතර.......ගස්සයි
හමුවෙනා සැම සමඟ...කැස්සයි
ගයන් ඉහළම තාල..........වස්සයි
දනන් දැන පරකාස.......මෙව්වයි
අසන් නැන්දේ කුසින්...පොත්තයි
කියන් ඉව්වද? වළන්...මැස්සෙයි

තෙතඟු කවි


ඇතාට කිව් ඇතාට කිව් සින්දුව අහපන්නේත්-තෙතඟු
ඇතාට ඉසි ඇතාට ඉසි ගෝමර පෙති වැන්නේත් -තෙතඟු
ඇතාට දැමු ඇතාට දැමු මිනිගෙඩි සෙලවෙන්නේත් -තෙතඟු

ඇතා දුටුමු ඇතා දුටමු මිණිමුතු ලෙල දෙන්නේත් -තෙතඟු

උඩ බෝමලුවේ බණගෙයි දහම් දෙසනවා-ත් 
තෙකඟුතා දිගු වඩියේ රිඟුතලි එත් තෙතඟුතා
ඒ බණ ගෙයි රැලි පාලන් වට දිලිසෙනවා- ත්
තෙකඟුතා දිගු වඩියේ රිඟුතලි එත් තෙතඟුතා
කොත් විලක්කු විදුරු පහන් වට ඇවිලෙනවා- ත්
තෙකඟුතා දිගු වඩියේ රිඟුතලි එත් තෙතඟුතා
කලිගු රටින් බමුණො ඇවිත් දර්මේ අසනවා-ත්
තෙකඟුතා දිගු වඩියේ රිඟුතලි එත් තෙතඟුතා
පරෝපකාරය සංකේතවත් කළ පිංතාලිය
===========================
පැරණි ගැමියන් ජනකවියෙන් පිංතාලිය කෙරෙහි සදහන් කර ඇත්තේ මෙසේය.
පිංතාලිය සැදුවෙ බෝසත් විදානෝ
පැන් බීවෝ මගි දන සිතු ලෙසාණෝ
දෙව් ලෝ වැඩිය ඒ ගුණ කදාණෝ
පිංතාලිය බින්දෙ දෙව්දත් පුතානෝ
පිනට ලැබුණි පැන් හැම තැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණයි ආලේ
මිළට පැන් ගන්ට වී ඇත මේ කාලේ
පවට අපේ මොනවා කරමුද රාළේ
පිංතාලිය පරෝපකාරය නැමති සත් ක්‍රියාවේ ප්‍රභවය පැරණි සමාජය තුළ විනිවිද ගිය විරල අවස්ථාවක් විය.ඒ මගින් කිසි ප්‍රතිලාභයක් අපේක්ෂා නොකළ ඔවුන් ,එයින් පිපාසාව සංසිදවා ගනු ලැබුවේ කවුරෙකු විසින්ද යන්න සම්බන්ධයෙන් වුව විමසිලිමත් වූයේද නැත. ඔවුන් සම්බන්ධව සලකා බලන විට ධර්මය පිහිටා තිබුනේ ඔවුන්ගේ සංතානයේ යැයි කීම නිවැරිදිය.
(බුදුසරන අන්තර්ජාල කලාපය)

Sunday, November 2, 2014

ගමේ ඇත්තන්ගේ “වහර” වඩාලාත් ම සාර-හාර වී ඇත්තේ ඔවුන් ගේ මුඛ පරම්පරාගත යෙදුම් සුසංයෝගී වීමෙනි. ඒ යෙදුම් අවස්ථාව පැමිණි කල, වාග් මාලාවට මුසුකර මුදාහැරීම ඔවුන් ගේ සිරිති. වහර හා අදාළ යෙදුම් ගෙත්තම් වූ කල්හි එයින් ඉස්මතු වෙන අපූරු “හැඩ රුව“ කාගේත් සිත්සතන් ඇද බැඳගන්නට තරම් සමති.
අපේ පොදු සිංහල බසට එක්ව ඇති සුවිශේෂ අලංකාරීය යෙදුම්, පිරුළු, රූඪි පද, ආප්තෝප-දේස, යුගල පද හා උපමා ආදී වශයෙන් අපි හඳුන්වමු. මේවා ගැමි වහරේ නම් වනුයේ; ගැමියන්ගේ වහරට ආවේණික ව ය. ඒ අනුව පිරුළු ඔවුන්ගේ වහරින් නම් “ගැලපුම්පදය”. රූඪි පද – ‘වහන්පද” වෙයි. “බාන්පද” කියන්නේ යුගල පදවලට ය. ආප්තෝපදේස පද – “ගුරුහරුකම්” පදවෙයි. ඒ අතර “උපහැරණ” වශයෙන් ඔවුන් නම් කරන්නේ, උපමාවලට ය. ඊට “බවරිපද” (හැඩ රුව ගන්වන පද) යැයි ද ඇතැම් ගැමියෝ වහරති.
මෙසේ වූ අලංකාරික යෙදුම් ගැමි වහරේ අපමණි. කවර හොද්දකට වුවද ලුණු-ඇඹුල් ඇවැසි සෙයින් ම; ගැමි වහරට ද, උක්ත යෙදුම් අනිවාර්යය. ලුණු-ඇඹුල් ඌන වූ කල හොද්ද නීරස වන්නේ යම්සේ ද, ගැමියාගේ “කටවහරට” ඉහත සඳහන් යෙදුම් හිඟවූ විට එහි සරුසාර බව ද නැතිව යයි. කෙසේ නමුදු පරවේණිගත ව දායාද වූ ඔවුන් ගේ වහර හා වෙළී පැටලී ඇත්තේ මෙම යෙදුම් ය.
ඒ යෙදුම් උචිතාකාරයෙන් ගලපා වහර මෙන්ම, ගී සීපද ආදිය ද ගැමි දෙතොලින් ඉගිළ ගියේ නිතැතින් ම ය.
ඊට එදා සීපද බොහෝවිට දෙස් දෙනු ඇති. එවන් සීපදයක දැක්වෙන ගුරුහරුකම් මේ සීපදය කියාබලාම පසක්කර ගත යුත්තේ මය.
”තැනේ හැටියට ඇණේ නොගැසූ කලට තම වඩු වැඩේ වරදී
දිනේ පසුවී කරන ගොවිතැන් පාළුවී යයි පල නොදී
සෙනේ – පමණට නොදැන පෑවිට කලහයක් වෙයි ළඟකදී
පෙනේ නොකළොත් නයා ගෙන් මුත් ගමේ ගෑනුන් දර බඳී”
මෙහි දැක්වෙන සතර පදයෙන්ම දන්වනුයේ, එදා අත්දැකීම්වලින්ම මුවහත් වී අවබෝධ කරගත් “ගුරුහරුකම්ය”. තැනට සුදුසු අයුරින් යමකට ඇණයක් ගසන ලී වඩුවා, එය නොදන්නා කම නිසා වෙනත් නුසුදුසු තැනකට ඇණය ගැසූ කළ, ඉන් සිදුවන දුර්විපාකය ඇතැම් විට ඔහුගේ වඩු වැඩ වේදයට ද කනකොකා හැඬවීමට තරම් අවකාශ නැත්තේ නොවේ.
එහෙයින් කවරකු හෝ යමක් කිරීමේදී ඊට යොදාගත යුත්තේ ඒ ඒ කාර්යයට ම උචිත කි‍්‍රයාකාරකමක් බවය මෙහි දැක්වෙන උපහැරණ පදයෙන් ගම්‍යමාන වන්නේ.
එසේ ම බොහෝවිට ගොවිතැන් කළ යුත්තේ කල්යල් බලාය. එය අපේ ගොවීහු මනාකාරයෙන්ම දනිත්. නමුත් යමෙක් අදාළ දින වකවානු ගැන නොතකා කල්මරමින් ගොවිතැනේ යෙදෙත් නම් ඉන් අත්වන ප‍්‍රතිඵලය ඉතා ඛේදජනක ය. තවද සෙනෙහස, ළබැඳියාව, දයාව ආදී උතුම් ගුණාංගයෝ මනුසතුනට පමණක් නොව, සතාසීපාවාට පවා පිහිටති. එසේ වුවද, එම ගුණාංග පමණ දැනගෙන භාවිත කළ යුතුමය. නැතහොත් සිදුවන්නේ ඇතැම්විට කළගුණ පස්සෙන් ලුහුබැඳීමකි.
තවද අනුකම්පාව භූමිකම්පාවක් වීමට ඇති ඉඩකඩ ද බෙහෙවි. නැතහොත් එදිරිවාදිකම් පලදැරීමකි. “වැඩි සෙනෙහස දබරයකට මුල්වෙන බවයි” අපේ ගැමි අත්දැකීම් පරිචයෙන් පහදා දෙනුයේ.
ඒ විතරක් ම නොවේ. නාගයා වූ කලී ප‍්‍රබල විෂකුරු සර්පයෙකි. ඌ දෂ්ට කරනුයේ පෙනේ පුප්පාය.
පෙනේ නොපානා නාගයින් වේ නම් උන් ගැරඩියන්ටත් වඩා අහිංසක ය. එවන් නාගයින් මිහිපිට සිටීදැයි පවා කුකුසකි. යම් හෙයකින් කිසියම් නයෙකු පෙනේ නොපා (නොපුප්පා) කරබාගන සිටියහොත්, සිදුවන්නේ කුමක්ද? ගමේ ගෑනු එවන් නාගයින් දර බැඳීමටත් ගන්නා බවකි. මතු සීපදයේ අවසන් පදයෙන් ගෙන හැර දක්වන මේ යෙදුම නිවටයින් දුටු තැන ඇතමුන් ඔවුන්ගෙන් අනිසි ප‍්‍රයෝජන ලබාගන්නා බව පහදා දීමකි. එවැනිම යෙදුමක් අපේ ගැමි තොලගින් ඉගිළී යන්නේ “හිතහොඳ ගෑනී “ හැමදා ගැබණී” යනුවෙනි.
මේ සීපදය තුළින් කළඑළි බසින උපදේශයන් බොහෝකොට එදාට වඩා උචිත වනුයේ මෙදාටය. ඊට හේතුව වනුයේ, සුදුසු කටයුතු තිබිය දී අකටයුතුවල යෙදී පශ්චාත්තාප වන්නන්, කළයුතු දෙය කලට වේලාවට නොකර කල්මරමින් සිට දේශයටම හානි කරන්නන්, එසේම අප‍්‍රමාණික සානුකම්පාවක් දැක්වීමට ගොස් අමාරුවේ වැටෙන්නන්, මෙන්ම නිවටකම, නෝංජල්කම ප‍්‍රදර්ශනය කිරීමට යෑමෙන් නොසිතූ විපත්වලට පාත‍්‍ර වන්නන් අද අප අතර සුලභ හෙයිනි.
එබැවින් එවකට ගමෙන් බිමෙන් වාතලයට මුසුව ඇති මේ උපදේශයන් කාහටත් අවවාද අනුශාසනා වන්නේම ය.
ගමේ ගහ කොළ ඇළ දොළ කඳුහෙල් මිටියාවත් කෙත්වතු ඔවුන් තුළ පැවති ඒ හැදියාවට ම අනුබල දෙමින් අව්‍යාජත්වයත් රසකාමිත්වයත් එක් කළ බව නොරහසකි. ගමට ආවේණික වූ සැහැල්ලු ගැමි දිවි පැවැත්ම එසේ හැඩ ගැස්වීමට මුල් වූයේ බුදු දහමයි. ජන කවිය ගැමි අත්දැකීම් මෙන් ම ජීවිතාවබෝධය ද පිළිබිඹු කරන කැඩපතක් වැනි ය. මේ එක් නිදසුනකි.
ජන කවිය වූ කලී පැරණි ගම්බද ජනයාගේ එදිනෙදා දිවි පැවැත්ම ඇසුරුකොටගෙන උපන් විශිෂ්ට සාහිත්‍යාංගයකි. ව්‍යාජ සාටෝප සාඩම්බර ගති පැවතුම්වලින් තොර වූ හිස පුරවාගත් මහා දැන උගත්කම්වලින් බර නොවූ සැහැල්ලු එහෙත් වඩාත් හරවත් ජීවන දැක්මකින් හා විවෘත සදාචාර සම්පන්න ගති පැවතුම්වලින් ද සරු වූ ගැමි ජීවිතය ජන කවියෙහි උල්පත වූයේ ය. ඒ ගැමියනට සුවිසල් මහ මන්දිරවල සුව පහසු යහන් නොවූයේ ය. රසමසවුළු සහිත අහර ද නොවිණි. රන් රිදී මුතු මැණික් යාන වාහන ඔවුන් සතු නොවී ය. ඔවුහු ලද පමණින් සතුටු වැ අපිස් සතොස් ගුණයෙන් සරුවැ නිහඬ නිස්කලංක හා ශිෂ්ට සම්මත ජීවිත ගත කළෝ ය. ගමේ ගහ කොළ ඇළ දොළ කඳුහෙල් මිටියාවත් කෙත්වතු ඔවුන් තුළ පැවති ඒ හැදියාවට ම අනුබල දෙමින් අව්‍යාජත්වයත් රසකාමිත්වයත් එක් කළ බව නොරහසකි. ගමට ආවේණික වූ සැහැල්ලු ගැමි දිවි පැවැත්ම එසේ හැඩ ගැස්වීමට මුල් වූයේ බුදු දහමයි. ජන කවිය ගැමි අත්දැකීම් මෙන් ම ජීවිතාවබෝධය ද පිළිබිඹු කරන කැඩපතක් වැනි ය. මේ එක් නිදසුනකි.
රන්විමනේ සිටි මුත් දුක නැති වෙත් ද
පැණි මීයේ කෑමුත් බඩගිනි නැද් ද
මිණි බරණින් සැදු මුත් ගත නොදිරත් ද
පැණි වරකා ගහටත් හෙණ නොවදිත් ද
මේ උපහැරණ කවියකි. අපේ ගැමියන් බුදු ගුණ තුළින් ජීවිතය දුටු හැටි මින් පෙනෙයි. රත්රන් විමානයෙක බොහෝ සරුසාර ව සිටිය ද සසර දුක මිනිසාට උරුම ය. ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය ඉක්මවා යා නොහැකි ය. නිපදවන මිහිරිතම කෑම නම් මී පැණි ය. එහෙත් එය ද තාවකාලික ය. මී පැණි කෑව ද නැවත බඩගිනි උපදියි. මුතු මැණික් අබරණින් මේ කය සරසාගත්තද මෙය දිරන සුළු කුණු කයක්ම ය. අනිත්‍යය, අසාරය, දුකය. ගස පැරණි වරකා ගසක් වුව ද එයටත් හෙණ ගහයි. ජීවිතය කෙතරම් උපභෝග පරිභෝග සම්පත්වලින් ආඪ්‍ය වුව ද දුක මිනිසාට උරුම වන්නේ ය. උචිත රූපක ද භාවිත කරමින් සිය අත් දැකීම් හා පරිසරය ද ඇසුරින් ගැමියෙකු කවිබණක් කී හැටි මින් පෙනේ. මේ තවත් එබඳු නිමැවුමකි.
කල්බලා නොවෙද ගොවිතැන් කරන් නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන් නේ
පව් කළා නොවෙද පිං පල නොදෙන් නේ
ලොවුතුරා බුදුන් කවද ද දකින් නේ
වී ගොවිතැනෙන් දිවි ගෙවූ ගැමියෝ සිය අත්දැකීම් ද මුසු කොට සසර පැවැත්මට තුඩු දෙන කර්මය ද සසර නැවැත්ම වූ නිවන ද එසේ කවියෙන් කීහ. කල්යල් බලා ගොවිතැන් කළ යුතු ය. වැසි කල නියංකල නොබලා කරන ගොවිතැන නිසි පල උදා නොකරයි. පින ද එබඳු ම ය. එය පල දරන්නේ ද නිසි කලට ය. කළ පව් ඇති විට පින් පල නොදෙන්නේ ය. මේ සසර පැවැත්ම ය. ගොයම කිරි වැද පැසෙන්නට නම් මල් වැරිය යුතු ය. ඉවරයක් නැති, දුක් සැප උදාකරන මේ සසරින් මිදී බුදුන් දැක නිවන් දකින්නේ කවදා දැයි ගැමියාට උපන් ඒ බුදු බණ සිතිවිල්ල එසේ කවියක් වූයේ ය. ගැමියන් කෙතරම් අපූරුවට, නිවැරදිව බුදු බණ දැන සිටියේ දැයි මින් පෙනේ. ගොවිතැන ඔහුට සසර ද පින් පව් ද කියා දුන්නේ ය. නැවත නැවතත් වැසි වසී. නැවත නැවතත් සීසෑ යුතු ය. වැපිරිය යුතු ය. නැවත නැවතත් අස්වනු නෙළිය යුතු ය. එලෙසින් ම සත්වයෝ නැවත නැවතත් සසර ඉපිද දුක් විඳිති යි වදාළ බුදු බණ ද මේ ගොවිතැනෙහි නිමක් නොපෙනෙන්නා සේ සසර ද නිමක් නොපෙනේ යැයි ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියෙහි කී උවම ද මෙම පද්‍යය අසන්නෙකුට සිහිපත් වෙයි. පවෙහි විපාකය දුක යැයි බුදු බණ උගන්වයි. දුක දිළිදු ගැමියාට හුරු පුරුදු ය. මේ ඒ ඇසුරින් උපන් කවියකි.
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් ය ට
කන්නේ කරවලයි රට හාලේ බත ට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පව ට
යන්නේ කවදා ද මවු පියො දකින්න ට
ඔහු දුරුරට ගොස් සිටියි. ඒ ගමින් බැහැරව ය. පතල් කම්කරුවෙකු වූ මේ ගැමියාට හෙවණ වී ඇත්තේ දුම්බර පිහිටි මහ කලු ගලකි. ඔහුගේ වාසය එතැන ය. ගමෙහි උපදින අල බතලින් ද පලා කොළ ඇඹුලින් ද හේ දුරස්ව සිටියි. කන්නේ කරවල හොද්දත් රටහාලේ බතත් පමණි. එය ඔහුට නීරස ය. ගමෙහි සිසිලස ඇති සුපිරිසුදු උල්පතකින් වෑහෙන දිය දහර ඔහුට නැත. සිදු වී ඇත්තේ බොර දිය බීමට ය. මේ දුකින් මිදී මව්පියන් දක්නට ගමට යන්නේ කවදා දැයි ඔහුට සිතේ. අපේ ගැමියෝ තදින් ම පින් පව් ඇදහූහ. ඔහුට පෙනෙන පරිදි ඒ දුක පවෙහි විපාක ය. එයින් මිදී සැප ලබන්නේ කවදාදැයි උපන් අහිංසක සිතිවිල්ල හෙතෙම එසේ කවියට නැගුවේ ය. මේ ගැමියන් තුළ කර්මය අරබයා පැවැති දැනුම ප්‍රකට කරන තවත් ජන කවියකි.
තණ්ඩලේ දෙන්න දෙපලේ දක්කන වා
කටුකැලේ ගාල නොලිහා වද දෙන වා
හපුතලේ කන්ද දැකලා බඩ දන වා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යන වා
මේ කරත්ත කවියකි. “කරත්තය අදින ගොනු පසුපස රිය සක ඇදී එන්නා සේ පව් කළ තැනැත්තා පසුකර දුක ඇදී එන්නේ යැයි” වදාළ බුදු බණ සිහියට නංවන මේ කවිය ගැමි අත්දැකීම් ඇසුරින් ම උපන්නෙකි. මේ ගැල්කරු දුෂ්කර වූ කඳු සහිත මගෙක ගැල පදවමින් කී කවියයි. ඔහුට හපුතලේ මහ කන්ද ඉදිරියෙන් පෙනේ. බඩ දන්නේ එහි උස දකින විට ය. ඒ කන්ද නැගීම නම් මහ දුකකි. එහෙත් යා යුතු ය. පව් කළ විට දුක් විඳින්නට සිදු වේ. සිය දිවි පැවැත්ම හා දහම එක් කොට ගත් මේ කවියා තුළ මහා බරක් ද ඇදගෙන කඳු නගින ගොනුකෙරේ ඇත්තේ අනුකම්පාවකි. ගොනු විඳීන දුක ගැමියාට ද දැනේ. පෙනේ.
අව්‍යාජ වූ ශ්‍රද්ධා භක්තියෙන් අපේ ගැමියෝ පිරිපුන් ව සිටියෝ ය. ඔවුනට තුනුරුවන් හැර වෙනත් සරණක් නොවී ය. මේ ගොයම් කවිය ඒ බව ප්‍රකට කරන්නකි.
බුදුන් තිලෝකෙට උත්තම වන් නේ
යොදුන් ගණන් බුදුරැස් විහිදෙන් නේ
සඳුන් සුවඳමල් පුදකර පන් නේ
බුදුන් සරණ සිහිකර කියමින් නේ
ගැමි ගෙවිලියක් කෙත්යායෙහි බුදු ගුණ ගැයූ සැටි ය. ඒ සෞම්‍ය වූ සංවේදී වූ අහිංසක ආගමික හැඟීමෙන් පිරුණු හදවතින් ඔවුහු බුදුන් වැන්දෝ ය. සුවඳ කවිමල් පිදුවෝ ය. එය ඔවුන්ගේ ගැමි සිතට අස් වැසිල්ලක් වූයේ ය. ඒ බුදු ගුණ ගීතිකා සිසාරා ගියේ ගොයම අතරිනි. සැදැහැබර සිතිවිලි පැතිර ගියේ කෙත්යාය මැදිනි. එය සරු අස්වැන්න ලබා දුන්නේ ය. පෙර එබඳු ගෙවිලියන් පිරිසක් කෙත්යායෙහි කී සසර දුක නියා වෙන් බුදුබණ අසා සැට නමක් රහත් වූ පුවතක් අපේ අටුවාවෙහි ද එයි. එය ලක්දිව පුවතෙකි. ලෝවැඩ සඟරාව ඒ පුවත කවියට නගයි. ඒ “දහමට සරිකොට එළුවෙන් පෙර කී” යන උපදෙස ය එබඳු බොදු ගෙවිලියකගේ තවත් ගැයුමක් මෙසේ ය.
විස්තර මුනි ගුණ කවි පද කීවෙ න්
දොස් නැත රන්කෙත වරුණේ කීවෙ න්
අත්සර එන්නට එක ලෙස තැනුවෙ න්
වස් නැත මේ කවි පද කර කීවෙ න්
මේ බුදු ගුණ ගායනාවෙක කෙළවර ය. බුදු ගුණ කවියෙන් කීම වරදක් නොවන්නේ ය. එය රන්කෙතක වර්ණනාව කවියෙන් කීමක් වැන්න. ඒ ගෙවිලියට රන් අස්වනු දෙන කෙතත් පින් අස්වනු උපදවන බුදුරුවනත් එක බැල්මට පෙනුණා සේ ය. ඇය කවි කියා ඇත්තේ අකුරු නොවරද්දා ය. නිවැරැදිව උච්චාරණය කරමිනි. එබැවින් ඇගේ කවි කමෙහි ද වරදක් නැත. ජන කවියන් කිවිදියන් එදා කී මේ කවිබණ ඔවුන් උගත්තේ මහ බණ පොත් කියවීමෙන් නොවේ. වෙහෙර, ගමේ පන්සල නමැති තක්සලාවෙනි. සරසවියෙනි. එදා ධර්මදේශනා කළ අපේ දේශකයන් වෙතිනි. බණ මඩුවෙන් උගත් ඒ බණ කවි කෙත් යායේ දී මෙන් මැ කමතේ දී ද එසේ කවියට නැගින.
බුද්ධං සරණය ද බලේ
ධම්මං සරණය ද බලේ
සංඝං සරණය ද බලේ
මෙතුන් සරණ කමත බලේ
මේ කමත් කවියකි. බැත සැකසෙන කමතට තෙරුවන්සරණ පතා සැදැහැයෙන් කී පබැඳුමෙකි. ගැමියා වී හඳුන්වන්නේ බුද්ධ බෝග නමින් බව ද මෙහිලා සිහිපත් කළ යුතු ය. තෙරුවන් ගුණ බලය මුළු ලෝකයේ ඇති උසස් ම බලය යැයි ගැමියෝ මුළු හදින් ම අදහති. දුක් ගිනි මැදින් මහත් බලාපොරොත්තු ඇතිව කළ ගොවිතැනෙහි පල සකසන කමතේ දී ද ඔවුනට පිහිට තෙරුවන් ගුණ බලය ම ය. ඒ සසරට ඒ ගුණ බලය පිහිට වන්නාක් මෙනි. කෙත්යායෙක සීසාමින් ගැමි ගොවියෙකු මුවට නගන අපූරු ගායනාවක් මෙසේ ය.
තිසරණ සරණයි බුදුන් දැක්පන් මගේ සුරතල් මීවෝ උඹ ඌවෝ... ඌවෝ...
හතරවරම් දෙවියන්හට බාරයි මගෙ මී වස්සෝ උඹ
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි මගෙ වහුදරුවෝ උඹ
කතරගමේ දෙවි රැකපන් මගේ මී වස්සෝ උඹ
බුදු බණෙහි ඇසුර ලද මේ කවියාගේ සිතෙහි ඇති සත්ව කරුණාව පිළිබිඹු වන මේ කවිය දරුවෙකු සේ තම මීවස්සාට කතා කරන ගැමියෙකු අප ඉදිරියට පමුණුවන්නකි. දුක් විඳින ඒ සතුන්ට තෙරුවන් සරණ පතන දෙවි පිහිට පතන ගොවියා මේ කවි කියවන්නේ සී සානා ගමන් ය. මෙහි අගට එක්වන ඌවෝ.. ඌවෝ.... යන්න අඬහැරයයි. සීසාන ගොවියා ඉතා දික් ස්වරයකින් නගන හඬයි. ගැමියෝ නිමක් නැති තර්ක විතර්කයෙන් දූෂිත ව කටුක ව ගිය සිත් නැත්තෝ වූහ. එබැවින් ඔවුහු බුදුන් මෙන් ම දෙවියන් ද පිළිගත්හ. තම ජීවන පැවැත්මට උරදුන් ඒ අසරණ තිරිසනුනට ද දෙවි පිහිට ම පැතූහ. ඒ සැබෑ කරුණාවෙනි.
පැරණි සිංහල ගැමියන්ගේ උපහැරණ කවි තුළ ද නිර්මාණාත්මක ව කී බුදු බණ දැකගත හැකි ය. මේ ඊට නිදසුනකි.
නහින දෙහින කාලෙට පින් කෙරුම යුත
වහින කලට කුරිව් විල්වලින් එත
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
පනින රිලවුන්ට ඉනිමං කමක් නැත
එක් අතෙකින් ඇතැම් මිනිස් දුබලකම්වලට එල්ල කෙරෙන සියුම් උපහාසය ද ඇණුම්පද ස්වරූපය ද අනෙක් අතින් පුළුල් ජීවිතාවබෝධය ද කැටි කොට ගත් මේ කව මද සිනහවකින් ගායනා කළ බව නිසැක ය. නහින දෙහින කාලෙට එනම් මහලු වියේ දී වත් පින් දහම් කරගත යුතු ය. එහි පල විපාක ලැබෙන්නේ නිසි කලට ය. ඒ වැසිකලට විල් උතුරා මසුන් ගොඩට එන්නාක් මෙනි. මේ සංසාරගත ජීවිතයෙන් ගත යුතු එක ම පලය වන්නේ ද පින් දහම් කර ගැනීම ය. උපදින මේ ජීවිතය මහලු විය තෙක් ගලාගොස් නිමවෙයි. එබැවින් එසේ මියෙන්නට පළමු පින් කළ යුත්තේ ය. ඒ පින මැ පරලොවට ද පිහිට වෙයි. බහින දියෙන් දෝතක් වුව ද ගත් තැනැත්තාට එය පලදායක වන්නාක් මෙනි