ගමේ ඇත්තන්ගේ “වහර” වඩාලාත් ම සාර-හාර වී ඇත්තේ ඔවුන් ගේ මුඛ පරම්පරාගත යෙදුම් සුසංයෝගී වීමෙනි. ඒ යෙදුම් අවස්ථාව පැමිණි කල, වාග් මාලාවට මුසුකර මුදාහැරීම ඔවුන් ගේ සිරිති. වහර හා අදාළ යෙදුම් ගෙත්තම් වූ කල්හි එයින් ඉස්මතු වෙන අපූරු “හැඩ රුව“ කාගේත් සිත්සතන් ඇද බැඳගන්නට තරම් සමති.
අපේ පොදු සිංහල බසට එක්ව ඇති සුවිශේෂ අලංකාරීය යෙදුම්, පිරුළු, රූඪි පද, ආප්තෝප-දේස, යුගල පද හා උපමා ආදී වශයෙන් අපි හඳුන්වමු. මේවා ගැමි වහරේ නම් වනුයේ; ගැමියන්ගේ වහරට ආවේණික ව ය. ඒ අනුව පිරුළු ඔවුන්ගේ වහරින් නම් “ගැලපුම්පදය”. රූඪි පද – ‘වහන්පද” වෙයි. “බාන්පද” කියන්නේ යුගල පදවලට ය. ආප්තෝපදේස පද – “ගුරුහරුකම්” පදවෙයි. ඒ අතර “උපහැරණ” වශයෙන් ඔවුන් නම් කරන්නේ, උපමාවලට ය. ඊට “බවරිපද” (හැඩ රුව ගන්වන පද) යැයි ද ඇතැම් ගැමියෝ වහරති.
මෙසේ වූ අලංකාරික යෙදුම් ගැමි වහරේ අපමණි. කවර හොද්දකට වුවද ලුණු-ඇඹුල් ඇවැසි සෙයින් ම; ගැමි වහරට ද, උක්ත යෙදුම් අනිවාර්යය. ලුණු-ඇඹුල් ඌන වූ කල හොද්ද නීරස වන්නේ යම්සේ ද, ගැමියාගේ “කටවහරට” ඉහත සඳහන් යෙදුම් හිඟවූ විට එහි සරුසාර බව ද නැතිව යයි. කෙසේ නමුදු පරවේණිගත ව දායාද වූ ඔවුන් ගේ වහර හා වෙළී පැටලී ඇත්තේ මෙම යෙදුම් ය.
ඒ යෙදුම් උචිතාකාරයෙන් ගලපා වහර මෙන්ම, ගී සීපද ආදිය ද ගැමි දෙතොලින් ඉගිළ ගියේ නිතැතින් ම ය.
ඊට එදා සීපද බොහෝවිට දෙස් දෙනු ඇති. එවන් සීපදයක දැක්වෙන ගුරුහරුකම් මේ සීපදය කියාබලාම පසක්කර ගත යුත්තේ මය.
”තැනේ හැටියට ඇණේ නොගැසූ කලට තම වඩු වැඩේ වරදී
දිනේ පසුවී කරන ගොවිතැන් පාළුවී යයි පල නොදී
සෙනේ – පමණට නොදැන පෑවිට කලහයක් වෙයි ළඟකදී
පෙනේ නොකළොත් නයා ගෙන් මුත් ගමේ ගෑනුන් දර බඳී”
දිනේ පසුවී කරන ගොවිතැන් පාළුවී යයි පල නොදී
සෙනේ – පමණට නොදැන පෑවිට කලහයක් වෙයි ළඟකදී
පෙනේ නොකළොත් නයා ගෙන් මුත් ගමේ ගෑනුන් දර බඳී”
මෙහි දැක්වෙන සතර පදයෙන්ම දන්වනුයේ, එදා අත්දැකීම්වලින්ම මුවහත් වී අවබෝධ කරගත් “ගුරුහරුකම්ය”. තැනට සුදුසු අයුරින් යමකට ඇණයක් ගසන ලී වඩුවා, එය නොදන්නා කම නිසා වෙනත් නුසුදුසු තැනකට ඇණය ගැසූ කළ, ඉන් සිදුවන දුර්විපාකය ඇතැම් විට ඔහුගේ වඩු වැඩ වේදයට ද කනකොකා හැඬවීමට තරම් අවකාශ නැත්තේ නොවේ.
එහෙයින් කවරකු හෝ යමක් කිරීමේදී ඊට යොදාගත යුත්තේ ඒ ඒ කාර්යයට ම උචිත කි‍්‍රයාකාරකමක් බවය මෙහි දැක්වෙන උපහැරණ පදයෙන් ගම්‍යමාන වන්නේ.
එසේ ම බොහෝවිට ගොවිතැන් කළ යුත්තේ කල්යල් බලාය. එය අපේ ගොවීහු මනාකාරයෙන්ම දනිත්. නමුත් යමෙක් අදාළ දින වකවානු ගැන නොතකා කල්මරමින් ගොවිතැනේ යෙදෙත් නම් ඉන් අත්වන ප‍්‍රතිඵලය ඉතා ඛේදජනක ය. තවද සෙනෙහස, ළබැඳියාව, දයාව ආදී උතුම් ගුණාංගයෝ මනුසතුනට පමණක් නොව, සතාසීපාවාට පවා පිහිටති. එසේ වුවද, එම ගුණාංග පමණ දැනගෙන භාවිත කළ යුතුමය. නැතහොත් සිදුවන්නේ ඇතැම්විට කළගුණ පස්සෙන් ලුහුබැඳීමකි.
තවද අනුකම්පාව භූමිකම්පාවක් වීමට ඇති ඉඩකඩ ද බෙහෙවි. නැතහොත් එදිරිවාදිකම් පලදැරීමකි. “වැඩි සෙනෙහස දබරයකට මුල්වෙන බවයි” අපේ ගැමි අත්දැකීම් පරිචයෙන් පහදා දෙනුයේ.
ඒ විතරක් ම නොවේ. නාගයා වූ කලී ප‍්‍රබල විෂකුරු සර්පයෙකි. ඌ දෂ්ට කරනුයේ පෙනේ පුප්පාය.
පෙනේ නොපානා නාගයින් වේ නම් උන් ගැරඩියන්ටත් වඩා අහිංසක ය. එවන් නාගයින් මිහිපිට සිටීදැයි පවා කුකුසකි. යම් හෙයකින් කිසියම් නයෙකු පෙනේ නොපා (නොපුප්පා) කරබාගන සිටියහොත්, සිදුවන්නේ කුමක්ද? ගමේ ගෑනු එවන් නාගයින් දර බැඳීමටත් ගන්නා බවකි. මතු සීපදයේ අවසන් පදයෙන් ගෙන හැර දක්වන මේ යෙදුම නිවටයින් දුටු තැන ඇතමුන් ඔවුන්ගෙන් අනිසි ප‍්‍රයෝජන ලබාගන්නා බව පහදා දීමකි. එවැනිම යෙදුමක් අපේ ගැමි තොලගින් ඉගිළී යන්නේ “හිතහොඳ ගෑනී “ හැමදා ගැබණී” යනුවෙනි.
මේ සීපදය තුළින් කළඑළි බසින උපදේශයන් බොහෝකොට එදාට වඩා උචිත වනුයේ මෙදාටය. ඊට හේතුව වනුයේ, සුදුසු කටයුතු තිබිය දී අකටයුතුවල යෙදී පශ්චාත්තාප වන්නන්, කළයුතු දෙය කලට වේලාවට නොකර කල්මරමින් සිට දේශයටම හානි කරන්නන්, එසේම අප‍්‍රමාණික සානුකම්පාවක් දැක්වීමට ගොස් අමාරුවේ වැටෙන්නන්, මෙන්ම නිවටකම, නෝංජල්කම ප‍්‍රදර්ශනය කිරීමට යෑමෙන් නොසිතූ විපත්වලට පාත‍්‍ර වන්නන් අද අප අතර සුලභ හෙයිනි.
එබැවින් එවකට ගමෙන් බිමෙන් වාතලයට මුසුව ඇති මේ උපදේශයන් කාහටත් අවවාද අනුශාසනා වන්නේම ය.
No comments:
Post a Comment