උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි
පෙර සටහන
අපට බොහෝ විට පාසලේදී ඉගෙනගන්ට අවස්ථාව ලැබූ ළමා කතාවල කියවන්නට අසන්නට ලැබුණේ අපේ ඇත්තන්ගේ හපන් කම් වලට වඩා මෝඩකම් පිළිබඳ කතා පමණකි. ඒවාද ප්‍රබන්ධ කතා මිස සත්‍යයට කිට්ටුවෙන් ගිය ඒවා හෝ නොවේ. ගමරාල, විදානෙ,කෝරලේ මහත්මයා, රටේමහත්මයා වැනි දෑ මහනුවර රාජධානි සමයේ පැවති පරිපාලන ක්ෂෙත්‍රයේ තනතුරු නාමයන්ය.මේ තනතුරුවල යම් වටිනාකමක් වූයේ නම් ඒවා අතුගා දමන්ට අවශ්‍ය තාවක් කාට හෝ තිබුණා වැනි ය. මැදහත්ව සිතතොත් මා කියන දේට යම්තරමකින් හෝ ඔබත් එකඟවනු ඇත. පහත ඉදිරිපත් කරන ජනකතා වලින් කතා රසය පමණක් අපේක්ෂා නොකරන්න. ඒවා ඇතැම් විට ප්‍රබන්ධ සේම සමහර අයගේ පම්පෝරි වැනි අතිශයොක්ති කතාවන්ද වනු ඇත. එහෙත් ඒ සියල්ල ඉංග්‍රීසින් යටත් වීමට පෙර උඩරට තිබූ අදීන සමාජයේ මිනිස් සිතුම් පැතුම් ආකල්ප සිරිත්විරිත් හා ව්‍යවහාරයන් පිළිබඳ හෙලි කරයි. ඒ නිසා ඓතිහාසික තොරතුරු හෙලි කෙරෙන මූලාශ්‍රයන් ලෙසද මහත් වටිනාකමක් පෙන්වන කතා බව පෙනීයයි.
ජනකතා සහ කවි අංක 1.1
කවිසියා බැඳපන්
මේ කතාව පවසන ලද්දේ ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ ඓතිහාසික පරම්පරාවෙන්ම උරුමව කපුනිළමේ රාජකාරිය මහත් බැති සිතින් ඉටු කළ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න මහත්මාය. එතුමා 2004 දී අභාවප්‍රාප්ත වූ අතර කතාව අසාගත්තේ 1992 වර්ෂයේ පෙරහර ඇසල මහ පෙරහර පැවැත්වීමට පෙර දින නානුමුර මංගල්‍යය සඳහා සූදානම් වන අතරතුර දීය. එය කතාරසය ද අඩංගු, දේවාලයේ පුරාවෘත්තය ද පැවසෙන්නක් නිසයි ඔබ වෙත ඉදිරිපත් කරන්ට තෝරා ගත්තෙ. දේව මන්දිරයේ සිට එක්තරා පොතක් ද රැගෙන එමින් පැවසූ පහත දැක්වෙන කතාව එතුමා ව්‍යවහාර කළ ආකාරයෙන් සටහන් වේ.
“බොහෝම ඉස්සර අපේ මී මුත්තා කෙනෙක් හිටල තියනව, මංගලනාත බ්‍රාහ්මණ කියන නමින්. ඒ ඇත්ත රාජකාරිය කරද්දියි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ කාලෙ කපු වරු ඉඳල තියෙන්නෙ දැනට ඔය “බ්‍රාහ්මණවත්ත” කියන තැන (මේ දැනට පවතින දේවාලයට මීටර් 200 ක් පමණ උතරින් පිහිටුවා ඇති පත්තිනි දේවාලයට නැගෙනහිරින් ඇති ප්‍රදේශයයි. ) මේ මුත්තාට දවසක් අමුතුම තාලේ හීනයක් පෙනිල තියනව. හීනෙ මේකයි. නවගුණ වැල් රාසියක් කරේ දාගන දිලිසි දිලිසී පෙනී හිටපු බ්‍රාහ්මණ ගොල්ලක් “කවිසියා බැදපං. කවිසියා බඳින්ඩ පොරේන්දු වෙනව නේද ? කියල සැරෙන් ඇහුවලු. මුත්තාත් වැඳ වැටිල පස්සෙන්දම ඉටු කරන බවට පොරොන්දු වුනාලු. ඒ කාලෙ දේවාලෙ පට්ටිකාර පංගුවට හරක් පට්ටියක් ඉඳල තියනව. ඒකෙ එළදෙනුන්ගෙන් දොවාගෙන හදාපු හුංකිරි තමයි දේවාලෙට වැඩමෙව්වෙ. පට්ටියෙ හිටපු ගොනුන් තමයි කරෙත්තෙ බැඳගෙන ගිහින් මුළු ගමටම ලුනු ගෙනත් තියෙන්නෙ. උංගෙ බැදපු සොකඩ තමයි ඔය තවමත් තියෙන්නෙ. මෙ හරක් පට්ටියෙ හිටපු “කවිසියා” කියන ගොංනාම්බ ඒ කාලෙ වල්වැදිල කියල බ්‍රාහ්මණ තුමාටත් ආරංචි වෙලයි තිබුණෙ. අලියන්දුරේ ගහනවත් එක්කම නැගිටල මුරේ හිටපු ඉලංගන් ඇත්තන් ලවා පට්ටිකාර පංගුවෙ අය යි අනෙක් රාජකාරි ඇත්තොයි සේරම කැඳවල හීනෙ විස්තර කර දීල කිව්වලු “කොහොම හරි කවිසියා අල්ලල ගෙනල්ල බඳින්න කියල. හයිය හත්තිය තියන සේරම ඇත්තො කැළේ දෙවනත් කරල හොයල කවිසියා අල්ලල තඩලල දේවාලෙ ඉස්සරහ බැඳින්ඩ බොහොම මහන්සිවෙලා තියනව. කොහොම හරි හවස් වෙනකොට කවිසියා දේවාලෙ ඉස්සරහ බැන්ද ලු. අපේ මුත්තත් දෙයියන්ට කියා හිටල නින්දට ගියාලු. මොන නිදියවිල්ලක් ද ඒ පාර ආයුදත් අරගෙන එන බ්‍රාහ්මණ ගොල්ල ඇහැ පියවෙන්නම දෙන්නෑ. නැගිටපං කවිසියා බැඳපං කියනව. මුත්තත් කවිසියා බැන්ද බව දෙයියන්ට කියා හිටල නිදාගන්ඩ හදනව. ඒත් නිදාගන්ඩම නෑ අර පණිවිඩේ කියාගෙන බ්‍රාහ්මණ ගොල්ල එනව. බැරිම තැන මේ හීනෙ තෝරල දෙන්න කියල පිරිත් කියල දෙයියන්ට පින්දීල තදින් කන්නලව් කරල නින්දට ගියාලු. ඒ ගමන වේලායුදයක් ගත් බ්‍රාහ්මණ කෙනෙක් ඇවිදින් “ගොනෝ උඹට කිව්වෙ හරකෙක් බදින්ඩ නෙවෙයි කවිසියා බඳින්ඩයි. කවිසියා බැඳපන්” කියල අතුරුදහන් උනාලු. මුත්ත ඒ පාර හීනෙ තෝරගන්න බැරුව නිදාගන්නෙම නැතුව කල්පනා කරන්න උනා. කුකුලා අඩලන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දි, වෛතාල වෙලාවෙ හදිස්සියෙම සිහියට ආවලු මේ කිව්වෙ “කවි සීයක් බඳින්න නේද” කියන එක. ඒ මොහොතේ ඉඳල ඔය හේවිසි මණ්ඩපේ ගාව තියන හඳගල ගාව පඩිය උඩ ඉඳගෙන තමයි මේ පොතේ තියන කවි පද බැඳල තියෙන්. ඒ කවි තමයි, ඔය කවිකාර පංගුවටයි මංගලං කවි කියන අයටයි නයියන්ඩි කෝලම් පංගුවටයි කපු නැටුම් පංගුවටයි බෙදල දීල තියෙන්නෙ. ඒව ඔය පෙරහර රාජකාරිවල දි කියවෙන්නෙ. හංකරාවෙ පියසේන, හෙලහේනෙ ඒබරං වගේ ඇත්තන්ට සේරම කටපාඩං. කළුචාලිස් බාස් උන්නැහැ තම්බිසිංඤො වෙදමහත්තය, හල්වින්නෙ ආරොං බාස් උන්නැහැ වගේ ඇත්තන්ටත් මේව සේරම පාඩං තිබුණ.”
කියමින් කපුනිලමේ වරයා ලබාදුන් ඒ ඓතිහාසික කවි අඩංගු අත්පිටපත එතුමාගේ ඉල්ලීම පිටට නොගොස් ඒ අවස්ථාවේම පිටපත් කරගතිමි.
පසු සටහන්
එය කටු පෑනකින් ලියූ අත්පිටපතකි. මුලින් ලියන ලද පොත විමසීමි. එය දිරාපත්වෙන්ට ඇති බවත් දැන් සෙවිය නොහැකි බවත් කපුමහතාගේ ප්‍රකාශය විය. ඒත් මෙහි කිසි අඩුවක් නැති බව කියා සිටි එතුමා ලේකම් මිටියත් සමග එහි තවත් පිටපතක් මහනුවර තිබීමට ඉඩ ඇති බවක් ප්‍රකාශ කළේය විය. මහනුවර කුමණ ස්ථානයේද යනු කීමට හැකියාවක් නොතිබුණි.ලේකම්මිටියේ පිටපතක් සේ සැලකිය හැකි පුරාණ පුස්කොල ලේඛනයක ඡායා පිටපතක් කොළඹ කෞතුකාගාරයේ තිබුණත් මේ කවි පොත එනම් කන්දකුමාර සිරිත සොයාගැනීමට නොහැකියවිය. මේ කතාව කියූ අවදියේ ඡායා පිටපත් ගැනීමේ පහසුකමක් නොවූ බැවින් ඔහු විසින් ලියාගත් පිටපතක් පමණක් වීම විශාල අඩු පාඩුවක් විය
සලසන් සිරි සැප දීලා මෙලොව ට
දොලසක් ආයුධ හස්ත දරා සි ට
දහසක් බ්‍රහ්මණ ගොල්ලක් විත් සි ට
පණවිඩ උනි කවි සියෙක බඳින්න ට
බාලචන්ද්‍ර මගෙ නම පවසා ලා
ආලවඩන පද ස්තුති කර ලා
රාල බ්‍රාහ්මණ වලියයි තෙප ලා
කෝල නැතුව කවි සිය බැඳ දී ලා
යන කවි භාරතරත්න නපු නිළමේවරයා පැවසූ නිධාන කථාව සංක්ෂිප්තව දක්වන්නාක් වැනිය.
මේ අතර 2007 දී පමණ එක්තරා දිනෙක, දේව වර්ණනා කාව්‍යය නම් වූ මා හැඟි ග්‍රන්ථය කියවා බැලීට ලැබිණි. මහා පඬිවරයකු වූ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල ශූරීන් විසින් එළිදක්වා ඇති එය පුරාණ පුස්කොල පොත් එකතුවක මුද්‍රිත සංස්කරණයකි. එහි කපු නිළමේ තුමා පෙන්වා දුන් “කන්දකුමාර සිරිත” ද ඒ නමින්ම අඩංගුවී තිබිණි. වෙස් කම් වලට ඇත්තේ අකුරු සහ වචන කීපයක් පමණි. දේවාලයේ තිබූ මුල්ම ලේඛනය හෝ එහි මුල්කාලීන පිටපතක් පී.ඊ.පී. දැරණියගල ශූරීන්ට මහවලතැන්න වලව්වේ තිබී ඇති බව දේවවර්ණනාකාව්‍යයේ පෙරවදන අනවු පෙනීයයි. කන්දකුමාර සිරිත නම් වූ එම පුරාණ කවි පෙළ එතුමාගේ සම්පාදකත්වයෙන් එළිදක්වා ඇති “දේව වර්‍ණනා කාව්‍ය” ග්‍රන්ථයේ පිටු අංක37 සිට 47 දක්වා ඇත්තේය. (ප.එ.ප. දැරණියගල සැප්තැම්බර් මස 10,1960 කොතුකාගාර පුස්කොල ග්‍රන්ථමාලා අංක IX දෙව වර්ණනා කාව්‍ය) එය උග්ගල් අලුත්නුවර දේවාලයේ මධ්‍යකාලීන ඓතිහාසික තතු අනාවරණය වන ඉතාම වැදගත් මූලාශ්‍රයක් වේ. මේ සියලු කවි ඉදිරි ලිපියක් තුළින් දැක්වීමට අදහස් කරමි.
විශේෂ ව්‍යවහාරයන් ගේ වචන කෝෂය
නානුමුර මංගල්‍යය - දේවේලේ පෙරහර නිම වූ දින රාත්‍රිය මහ පෙරහරට සූදානම් වන දිනයයි. මෙහි දී දේවියන් වෙනුවෙන් පවත්වන රහස් රාජකාරි ඇතුලත් විශේෂ චාරිත්‍රයන් මේ නමින හැඳින්වේ
හුංකිරි - එළඟි තෙල් හෙවත් ගිතෙල්
සොකඩ - තවලමේ එන ගවයන්ගේ කරේ එල්ලන විශේෂ මිණි ගෙඩි විශේෂයකි. එහෙත් ඒවායේ හඬ මිණි ගෙඩිවලින් නැගෙන කිංකිණ හඬ නොවේ. වෙනස් ගෝෂාවකි. එහි හඬට කොටියා බියවී ඉවත්වන බව දැනගන්ට ලැබිණි.
අලියන්දුරේ - එළිය හා අඳුර අතර සංක්‍රාන්ති වෙලාව රාත්‍රියනිමවෙමින් උදෑසන එළඹෙන බව හැඟවෙන හේවිසි නාදය මෙනමින් හැඳින්වේ.
ඉලංගන් ඇත්තන් - අායුධ සමගින් සටන් පුහුණුව ගැබූ “හේවාරාල රාජකාරි කරුවන්”
තඩලල - දමනය කර
කන්නලව්-ආයාචනා කර කියා හිටීම
වේලායුදයක්- කතරගම දෙවියන්ගේ ආයුධයක් සේ සැලකෙන්නකි. එයම ඇතැම් විටක වේල්කූර ලෙස ද හැදින්වේ.
වෛතාල වෙලාවෙ- කාලය හා වේලාව ලිපිය බලන්න. පාන්දර 4.00 ට පමණ හෝ ඊට ආසන්නයේ හෝ එය පසු වී හෝ එළඹෙන ශුභ වේලාවකි
හේවිසි මණ්ඩපේ- දේවාලයේ නිළ හේවිසිය වාදනය කිරීම පිණිස ඇති වේදකාවක් බඳු කොටස
හඳගල - සඳකඩ පහන වෙනුවට යෙදෙන වදනකි. මේ ප්‍රදේශයේ සදකඩ පහන යන ව්‍යවහාරය නොමැත. විහාරයක අර්ධ සඳක ආකාරයේ පිවිසුම් ස්ථානයකි. දේවාලයේ ඇත්තේ ඇත්තේ පූර්ණ සඳකට කිට්ටු පිවිසුම් ගල් තහඩුවක් දැයි විමසීම ප්‍රයෝජනවත්ය. උග්ගල් අලුත්නුවර මෙන්ම අම්මඩුව දේවාලයේ ඇත්තේ ද ඊට සමාන ගල්තහඩුවකි. “සඳකඩ පහණ” වෙනුවට “හඳගල” යන ව්‍යවහාරය පැමිණියේ ඒ නිසාද විය හැකිය.
ජනකතා සහ කවි අංක 1.2
උග්ගල් අලුත්නුවර දේවාලයේ හාස්කම් සම්බන්ධ පුරාණ කතාවක්.
කතරගම දෙවියන්ගේ තේජානුභාවය හා බලමහිමය පිළිබඳ කියා දෙමින් පැවසූ මේ කතාව, නාගහයට නමින් හැඳින් වෙන ස්ථානයේ තිබූ විශාල නා ගස කුමක් ද? ඒ වටා ප්‍රාකාරයක් තිබුණේ කුමක් නිසා ද ? යන කුතුහලය සන්සිඳවන ඓතිහාසික වෘතාන්තයක් වශයෙන්ද වැදගත් වූවකි. කතාව පැවසූ කිරිඅම්මාගේම රසවත් වදන් වලින්ම ඒ පුවත මෙහි සටහන් කර ඇති බව සලකන්න.
“බොහොම ඉස්සර නාගර දේවී කියන දේවිය තමයි මුළුතැන් තේවාවට ගන්න දේවාලෙ වී කොටල, පොලල, පූ කරල දෙන්න ආවේ. දෙවියන්ට අලුත් හාලෙන්ම මුළුතැන් බාන්න ඕන නිසා දවස ගානෙම වී කොටල පිරිසිදු කරල හාල් හදා දෙන්න ඔන. නාගර දේවිත් එක්ක තවත් කීපදෙනෙක්ම මේ රාජකාරියටත් හිටිය. හැම දාම එක් කෙනෙකුටම කරගන්න බැරිවෙන හින්ද. ලෙඩක් දුකක් හැදුනොත් නැත්නං අසුද්දයක් තිබුණොත් අනෙක් අය ඒ වෙනුවට එනවා. නාගර දේවී ගේ ගෙදර තිබුණෙ පාලම ගමේ පොල්ගහඅරාව කුඹුර ඉහත්තාවෙ. දැන් ඔය අස්වැද්දුම කියන කුඹුර තියන තැන. ඒක කුඹුරක් බවට අස්සද්දල තියෙන්නෙ පස්සෙ කාලෙ මාලිගාව ගරාවැටිල නැතිවෙලා ඒ ඉස්තානෙ වල්වැදුනට පස්සෙ.
එක කාලෙක, එක දිගටම, තනියමම නාගර දේවිට විතරක් එන්න සිදුවෙලා තිබුණා. තවත් අය හිටියත් නාගර දේවිටම රාජකාරියට එන්ට වෙලා තිබුණෙ. එයා හිටියෙ පාලම ගම. ඒක දේවාලෙ ඉඳල හැතැම්මකටත් වඩා දුරයි. මොනව කරන්න ද එයාටම දවස ගානේ එන්න උනා. අන්තිමේදි නාගර දෙවීට මේක ඉවසගන්න බැරුව ගිහින් තියනව. එක දවසක් තමන්ට මග දිගට හම්බවෙන අයටත් බැන බැන, මේ වදේ ගැන කිය කියා පාර දිගේ ආව. නාගහයට හන්දිය කිට්ටුවදී හම්බ වුනු අයටත් දොස් කියල “මේ හවස් ජාමෙත් මෙච්චර දුරක් ගෙවා ගෙන එන්ට වුනා නැත්තන් අරයට අඩුක්කුව හදන්ඩ විදිහක් නෑනේ” කියල දෙයියන්ටත් දොස් කීවලු. එහෙම කියල උන්දැට අඩි දෙකතුනක් වත් එන්ඩ බැරි උන තරංලු. හන්දිය පහු කරන්න වෙලා නෑ. හරියටම එතෙන්දි හදිස්සියෙම කැලෙන් ඇතෙක් මතුවෙලා ඇවිදින් නාගර දේවිව පාගල දැම්මලු. එයා එතැනම මැරුණලු. ආයෙ ඒ කටින් කතා කළෙත් නෑ. කෑවෙත් නෑ. එහෙම තමයි කතරගම දෙයියන්ගේ හාස්කං. නයියන්ඩි පංගුවේ රාජකාරි ඇත්තෝ ගරායක්කු නටද්දි වගේ විටක දෙයියන්ට විහිළුත් කළා වුනත් දොස් කිව්වෙනෑ. ඒ අයට දෙයියන්ට විහිළුතහළු කරන්න වරම් තිබුණ. කොයි හැටි උනත් අවසානයේ ඒ අයත් දෙවියන්ට ආසිරි පැතුව මිසක් දොස් කීවෙ හෙම නෑ. එහෙම දොස් කියන්න බලයක් කාටවත් නෑ. නාගර දේවිව එතනම සොහොන් කල්ල ඒ සොහොන උඩ නා ගහක් හිටෙව්වලු . ඒක ආරස්සා වෙන්න තමයි ඔය වටේටම බැම්ම බැඳල තියනව කියන්නේ.”
පසු සටහන
සූරිය මහරජු දේවාලය කරවා ආපසු යාමට පෙර රංගනාත බ්‍රාහ්මණ දේවී නාගර දේවී සහ වල්ලි දේවී යන අයට මුළුතැන් තේවා පවරමින් නාගරදේවීට “මුළුතැන්රතනපොතී” යනුවෙන් නම්බුනාමයක් ද පිරිනැමූ බව ජනප්‍රවාදයේ පමණක් නොව පුරාණ ලේඛනයේද සටහන්ව ඇත. මෙහිදී රාජකාරි වගකීම පැවරුනු ප්‍රධාන කාන්තාව වී ඇත්තේ නාගර දේවී බව පෙනේ.
උග්ගල් අලුත්නුවර දේවාල භූමියේ ගිණිකොණ සීමාව එක් වාහල් කඩකි. මේ වාහල්කඩ නිර්මාණයේ නටබුන් අද දක්නට නැතත් වළවේ ගංගා සීමවා දක්වා යන පාර ආරම්භවන්නේ මේ සීමාවේ සිටය . එම මාර්ගයේ මීටර් 100ක් ක් පමණ යනවිට තොටපල්ල හා පොකුණෙගම යන දේවාලයේ පරිවාර ගම්මාන රාශියක් සම්බන්ධ කරන මාර්ග බෙදී යන මංසන්ධිය හමුවේ. 1978 දක්වාම මේ මං සන්ධියේ ඉතා විශාල ලෙස වැඩී දස අතටම සෙවන දෙමින් අතුපතර විහිදාගෙන තිබූ නා ගසක් විය. ගසේ උස අඩි 40 ද ඉක්මවා ගිය තරම්ය. ඒ වටා මීටර් 3.5×3.5 පමණ (අඩි 10×10 පමණ) විශාලත්වයෙන් යුතු මීටර් 2 කට වැඩි(අඩි 7 ක් පමණ)උසකින් යුතුව බැඳ තිබූ ප්‍රාකාරයක් විය. මේ ස්ථානය එදා මෙන්ම අදත් නාගහයට යනුවෙන් හැදින් වෙන්නේ මේ සුවිශාල වෘක්ෂ රාජයාගේ මහිමය නිසා විය හැකිය.
අතීතයේදී වී කෙටීම සදහා වෙන් වුනු ස්ථානයක් දේවාලයේ විය. එය දේවාල ගබඩා කාමර පේලියට දකුණු දෙසින් පිහිටි බරාඳ ප්‍රදේශයයි. දැන් බැතිමතුන්ට පූජාවට්ටි පිරිසිදු කර නියමානුකූලව පිළියෙල කෙරෙන්නේ ඒ ආසන්නයේය.
විශේෂ ව්‍යවහාරයන් ගේ වචන කෝෂය
මුළුතැන් -මුළුතැන් බත් යනු දෙවියන්ට පූජාකරන ආහාර වලට කියන නමයි. මුළුුතැන් තේවාව යනු ඒවා සකස් කර පිළිගැන්වීමේ කටයුතු දෑය.මුළුතැන් බෑම යනුවෙන් අදහස්වන්නේද එයයි. ඒවා වැළඳීම මිනිසුන්ගේ අපල උපද්‍රව රෝගාබාධ ආදිය සුව වීමට හේතුවේයයි බලවත් විශ්වාසයක් ඇති බැවින් ලබා ගැනීමටත් වැළඳීමටත් බැතිමත්තු අපේක්ෂා කරති. එම ආහාර දේවලයේදී වළඳද්දී අමුතු ප්‍රනීත බවක්ද වේ.
පොලනවා - යනු කොටන ලද වී වල දහයියා සහ නිවුඩු කොටස් ඉවත්වනතුරු කුල්ලේ දමා සහල් බේරා ගැනීමය.
පූ කරනවා - යනු කොටන ලද සහලේ කැඩී ගිය කැබලි හෙවත් සුන් සහල් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.
ඉහත්තාව - ඉහළින් පිහිටි ප්‍රදේශය
හාස්කම් - අදෘෂ්‍ය මාන බලයකින් සිදුවන්නාක් බඳු අනපේක්ෂිත විශ්මය ජනක දේ
උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි1. 3
ඓරාවණ ඇත් රජු
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය හා රජමහා විහාරය 1580 දශකයේ පවා මැදගම මහ වනය මැද පිහිටි එකක් විය. තදාසන්න ජලදහරාවන් වූ වලවේ ගංගාව හා ඒ ආශ්‍රිත ජලවහන රටාව සැදි අතු ගංගා මාර්ගයන් දෙකකින් සැදුනකි. ගංගාවන් යොවුන් අවස්ථාවේ පසුවෙමින් ඇති බැවින් වේගයෙන් ගලා බස්නා දිය දහරා ඇත්තේය. ඒ නිසා කඳු හෙල් බහුල පෙදෙසකි. මේ මහවනයේ වෙසෙන සතා සිව්පාවුන්ද ගහ කොල ද මිනිසුන්ද සහජීවනයෙන් යුක්තව සිටි බවටත් සත්ව කරුණාවෙන් සමහර විට අදට වඩා ලතෙත් ප්‍රජාවක් වූ බවටත් ඇඟවෙන තොරතුරු ජන කතා සහ කවි වලින් පෙනී යයි. මගේ අතීතයට පිවිසෙන විට මුත්තම්මා මා නින්දට වැටෙනතුරු කියා දුන්නේ එවැනි කතන්දර හා සිව්පද වෙයි. දේවාල පෙරහරට එදා ද අලි ඇතුන් සිටීම අත්‍යවශ්‍ය අංගයක් විය. ඒ බව මෙහි ඇති පළමු කවියෙන් හැඟ වේ. ඊ ළඟට ඇත්තේ මේ ඓරාවණ යයි නම් ලැබූ පුරාණ ඇතාගේ වියෝ වීමෙන් සසල වූ හදවතින් යුතුව නිමැවුනු කවි අතරින් කලාත්මක අගයෙන් වැදගත් වූ කවි තුනකි.
* කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අතමිණි බැඳ පය මිණි බැඳ ජයගත්තු
රාජ සබාවෙන් කරුණා ලැබගත්තු
වලවේ ගඟට බැස්සයි ගෝමර ඇත්තු
1 අලුත්නුවර සිට සොඬ අකුලාගෙන වන ගොමුවට යනවාද ඇතා
රත්තරනින් රන් පිට සරසා ගෙන පෙරහරකට යනවා ද ඇතා
දළ දෙක මුදුනේ කඩුව තියාගෙන දිය කැපුමට යනවා ඇතා
වස් නැත දෙවියනි සින්දුව කීවට අලුත්නුවර දේවාලෙ ඇතා
2 ලතාවකට අත බිමගා එන කල මළුවේ වට ඇඳි රුවකි අනේ
ගොතා මැණික් ගල් කරවට මාලය ඇතාට දුන්නා මිසක අනේ
ඉතාම ගරු ඇති මහ දේවාලෙට පාක්කුඩම් මළු පහළ උනේ
ඇතා වැටුන බව දන්නේ නැතිව ද කපුකම් කරනා මැතිවරුනේ
3 කඳ දෙව් රජුගේ මහ දේවාලෙට ගන රන් ආයුද පහළ උනේ
අතලන්ඩ වළලූ පයලන්ඩ ගිගිරී හඳ ගල ගාවට පහළ උනේ
සඳගල ගාවා ආවඩනා කල ඉර හඳ දෙදෙනා බලා ගෙනේ
ලංකාවට එළියක් වැටෙනා තැන කොතනද දෙවියෝ මුවා උනේ
කුඩා දරුවකු වූ මගේ තොරතෝන්චියක් නැතිව අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කිරි අම්මා පැවසූ මේ ඇතාගේ කතාව ඇගේ ම වදන් වලින්ම පහත දැක්වේ.
“ඓරාවණයා පුතේ අපේ දේවාලෙට පහළ වූන වස්තුවක්. ඒ හින්ද දේවාලෙ ඇතා කියනවා මිසක් අයිති කෙනෙක් ගැන කියන්න බෑ. අලියා මේච්චල් කරන්ඩ කවුරුවත් ඕනි වුනේ නෑ. එක කුරුවේ කුලයේ ඇත්තෙක් රෑ වෙන කොට අලියා බැන්දේ මිනිසුන්ගේ ඇඟේ හැපීම නවත්ත ගන්ඩයි. ඔය දැං පන්තියවත්ත කියල කියන්නේ අලියා හිටපු වත්තට. දවාලට මේ ඇතා සෑමතැනම ඇවිද කකා හිටියේ. කාටවත් කරදරයක් වුනේ නෑ. මිනිසුන්ට හිතවත් වුනා. දේවාලෙට අනේක වස්තු ඉබේම හම්බ වුනෙත් මේ කාලෙ. කවුරුත් කිව්වෙ ඇතාගෙ පිනට පහල වෙන වස්තුව විදිහටයි. පුංචි දරුවො ඇතාට හෙන්දිරික්කා පඳුරක් ගලවා දෙනවා කන්න. ඌත් එක අරං කනවා. අපේ අම්මල තාතාතල හකුරු මුලක් මැද්දට තියල පිදුරු වලින් දවටල පිදුරු කට්ටයක් දීම කළා. දැන් හරියට අපේ බලු කුක්කා කෑවාද බලනවා වගේ තමයි ඒ කාලේ හිටපු අය ඇතාට සැලකුවෙත්. මේ ඇතා “සද්දන්ත කුලයේ”. ඒ කියන්නේ පස් අංගයක් බිම ගෑවෙනවා. ඇවිදිනකොට හොඬය බිම ගෑවෙන නිසා රටා හිටින්ඩ අපි අතුගාන මිදුලේ රටා මැකිල රූප ඇදෙනවා වාගේ ඒකයි ඔය දෙවෙනි කවියෙ තියෙන්නෙ. උගෙන් වැඩ ගන්නව කියල එකක් කරන්නෙ නෑ. පෙරහරට ගන්නව විතරයි. මේ ඇතාත් දේවාලෙ හේවිසි සද්දෙ අඳුනනවා. පෙරහර දින වල මිදුලට ඌ තනියම ඇවිත් ඉන්නව. ඒ ක දැකල අපි කාටත් හරි සතුටුයි. දවසක් පෙරහරට ඉස්සෙල්ල ඇතා නාව ගෙන එන්න කුරුවෙ ඇත්ත දෙනගං ඔයට ගෙනිහිං තියනව. පෙරහර දිනවල හවස හෙන්දිරික්ක මල් පිපෙන වෙලාවට මල්තේවෙ සද්දෙ අැහෙනව. ඊට පස්සෙ දේවාලෙ හැන්දැ දුරේ හේවිසිය මහ හඬට ඈතටත් ඇහෙන්න ගහනව. හදිස්සියෙම උඩහ කඩේ පැත්තෙන් ඇහෙන විලාපයක් නිසා කවුරුත් කලබල වෙලා බලන්න උනා. ඇතා කුරුවෙ ඇත්තව මරල දළ දෙක උඩ තියාගෙන එනව කියල කවුදෝ කෑ ගහන්න උනා. අපේ වැඩිහිටියො අපිත් අරගෙන දේවාලෙ උඩට ගියේ බයට. මේ පාරනම් ඇතා වැඩ වරද්දල හත්තිලව්වේ දැං මොකද්ද කරන්නෙ. කවුරුත් කලබල වෙන්න උනා ඇතා කෙලින්ම ආව දේවාලෙ ඉස්සරහට. ඊට පස්සෙ කුරුවෙ ඇත්තව හෙමින් හඳගල ගාවින් තියල පැත්තකට උනා. කාටත් පුදුමයි. ඩිංගකින් කුරුවෙ ඇත්ත නැගිට්ට. වෙලා තිබුණෙ මේකයි. කුරුවෙ ඇත්ත ඇතාව දිය කඳරෙ බාවල හොඳටම කිතුල් රා බීලා මත්වෙලා වැල්ලෙ නිදා ඉඳල තියෙන්නෙ. ඒ අතරෙ හැන්දැ දුරේ ඇහෙන නිසා ඇතා කුරුවෙ ඇත්තත් අරගෙන පෙරහරට ඇවිදින්. මේ සිද්දියෙන් පස්සෙ ඇතාට තිබ්බ ආදරේ තවත් වැඩි වුනා. ඇතා මැරුනෙ කොහොමද කියන්න දන්නෙ නෑ. අපේ දෙමව් පියො හොඳටම කණගාටු වෙනව මතකයි. උඹ හොඳ පුතා වගේ ඔය කවි පාඩම් කරගෙන ඉස්කෝලෙත් ගිහින් කියපං” ඒ කිරිඅම්මා ඓරාවණයාගේ කතාව නිම කළ ආකාරයයි.
ඇතාගෙ කතාව පාසලේදී කී බවක් මට මතක නෑ. ඒත් මෙහෙම ලියා තබන්න අවස්ථාවක් ලැබීම සතුටක්
පසු සටහන්
කුරුවේ කුලය යනු අලි ඇතුන් මෙල්ල කිරීම සම්බන්ධ නිපුණතා ඇති මහනුවර සමයේ පැවති කුලයකි.
මගේ කිරි අම්මා, මා කුඩා කල කියූ මේ සිත්ගන්නා කතාව සත්‍යයක්දැයි සෙවීමේ ආශාව කලක සිටම විය. මේ ඇතා පිළිබද පුවත ඇත්තක්ම බව සියලුම පැරැන්නෝ සහතික කරති. මේ හැර දේවාලයේ සිටි තවත් ඇතුන් පිළිබඳව ද විසිතුරු කතා රාශියක් ද ඔවුහු පවසති. කිරි අම්මා 1963 දී මිය ගිය අතර ඇයගේ එවකට වයස 90 ට වැඩි උනොත් මිස අඩු නොවීය. ඇයගේ පුතණුවන්ගේ දියණිය වූ මගේ මව ඇය ඇමතුවේ කිරිඅම්මා ලෙසය. ඒ අනුව යමින් මා ද ඇමතුවේ කිරිඅම්මා ලෙස වුවත් ඒ මගේ මුත්තම්මා විය යතුය. ඇය මේ කතාව පැවසුවේ තමා ඉතා කුඩා කල දැක ඇති යන්තම් මතකයේ තිබූ ඇතකු පිළිබඳව බැවින් ඇයගේ වයස හා සසඳද්දී ඇතා සිටින්නට ඇත්තේ ක්‍රි.ව. 1870 දශකයේ තරම් ඈත කාලයක විය හැකිය. මේ ඇතා ගැන ගමේ දැනට සිටින පැරණි ඇත්තන් අසා ඇතිමුත් ඇති බවක් නොකියති.
වලවේ ගඟ පිහිටියේ ගම් ප්‍රදේශයේ ගිණිකොණ හා දකුණු සීමාව වශයෙනි. ඉතා මෑතදී පවා කල්තොට පෙදෙසින් පැමිණි අලිෙයක් ගම කිට්ටුවටම පැමිණ ඇති බවට රාවයක් එක් නියං සමයකදී පැතිරුනි. එකල මහවනය උග්ගල් අලුත්නුවරට කිට්ටුවම පිහිටි බැවින් අලි ඇතුන් සැරි සැරීම සාමාන්‍ය දෙයක් විය. අලුත්නුවර “සිංහාසන ගොඩ”ට ආසන්නව “තොටපල්ල” හා “පොකුණේගම” යන පරිවාර දේවාල ගම් දෙසට යන මාර්ග හමුවන මං සන්ධියේ දී වල් අලියකු පහර දීමෙන් “නාගර දේවී” මිය ගිය බව කියවේ. මෙම මංසන්ධියේ ම ඉදි කළ එම ප්‍රභූ කාන්තාවගේ යයි ව්‍යවහාර වූ සොහොන් ගැබ වට කළ බැම්ම හා එතැන සිටුවා තිබූ නාගස ද 70 දශකය දක්වාම විය.
මේ අනුව ඉහත කතාව හුදු ප්‍රබන්ධයක්ම නොවිය හැකිය යනුවෙන් ද සිතීමට සාක්ෂි ලැබේ.
උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි 1.4
පනාමුරේ ඇත් රාජා සහ අලි ජේමිස් මාමා
(පනාමුරේ ඇත් රජාගේ ඉරනම තීන්දු වුනු ආකාර පිළිබඳ අප්‍රකට කතාවකි)
මේ කතාව කියන ලද්දේ එච්.ජී ඒඩිංසිඤ්ඤෝ මහතා විසිනි. අභාවප්‍රාප්ත ඒ.එම්. එස්. එම්. පුංචිබණ්ඩාර මහත්මා අභාවප්‍රාප්ත ඒ.එම්.ජිනදාස මහතා අභාවප්‍රාප්ත ඒ.එම්. ආරියදිස මහතා සහ දැනට වයස 70 පමණ වන එච්.ජී. ගුණපාල මහතා, වයස 73 පසු කරමින් සිටින එච්.ජී ඒඩිංසිඤ්ඤෝ මහතා සහ දැනට වයස 84 යි එච්.ජී ඇලිස්නෝනා මහත්මිය. නමින් හඳුන්වන උග්ගල් අලුත්නුවර ගමේ දැනමුතු පිරිසක් විසින් කතාව සත්‍යයක් සේ තහවුරු කර ඇත්තකි.
අලිජේමිස් මාමා ඒ කාලෙ බැලුවෙ කදිරා කියන මහවලතැන්න වලව්වෙ හිටපු ලංකාවෙ ලොකුම හස්තිරාජයා . මීට ඉස්සර කාටවත් මේච්චල් කරගන්න බැරුව හිටි කදිර සද්දන්ත අලියෙක් වුනා ඒත් අලිජෙමිස් මාමට බලු පැටියෙක් වාගෙ කීකරු වුනා. පස්සෙ කාලෙ බොහොම සැරට හිටිය ගලගම අලියා වාගෙම නන්දනයා කියන ඇතුන් මෙල් කරල බලා ගත්තෙත් එයා තමයි. කදිරා බලන කාලෙ තමයි. ඔය පනාමුරේ සිද්ධිය වුනේ. පනාමුරේ ඇත්ගාලට කොටුවුනු ඇතා මෙල්ල කරන්න රටේ කාටවත්ම බැරි වෙලා තිබුණ. අන්තිමේදි, මහවලතැන්නෙ දිසාහාමුදුරුවොයි, අපේ බණඩහමුදුරුවොයි,(1933 -1965 අතර සිටි බස්නායක නිළමේ වූ සිඩ්නි එල්ලාවල මහත්මාණන්) දංගොමුවෙ උන්නැහැයි තුන් දෙනාම බලකරල කිව්ව හින්ද අලිජේමිස් මාම යන්න කැමති උනේ. නැත්තං එයා ඒ විදිහට ඇතකුට හිරි හැර කිරීමට කැමති වුන කෙනෙක් නෙවෙයි. නුමුත් කරන්න දෙයක් නෑ නේ. “උඹත් ඕන්නං යං බලන්න” කියල අලිජේමිස් මාම කිව්ව නිසා මටත් යන්න පුළුවන් උනා. අපි පනාමුරේට ගියාට පස්සෙ කදිර පිටේ නැගල අලිජේමිස් මාම ඇත් ගාල ඇතුලට ගියා. ඒ හින්ද බයක් වුනේ නෑ. පනාමරේ ඇති පිස්සු වැටිල වාගෙහටියෙ. මෙල්ල කරනවා තියා කිට්ටුවෙන්නත් බැරිවෙලා අලියත් එක්ක එළියට ආපු මාම ලොකු කිතුල් පතකඩත් අරගෙන ආයෙත් ඇතුලට ගිහින් කිරා ලවා ඇතාට ගැස්සෙවුව. එහෙම කීපවරක් කළත් මෙල්ල වුනේ නෑ. ඇතා කිතුල් පතකඩ උදුඅරල අරං වීසි කළා. මේ භයානක යුදදෙ අපි ඈතට වෙලා අට්ටාල උඩ ඉඳගෙන බලාගෙන හිටියෙ. දවස් ගානක් මේ විදිහට දැඟලුවත් බැරි උනා. අන්තිමේදි මාම කිවුෙව මරු නිලේකට ඇන්නොත් ඇර මෙල්ලකරන් බැරි විත්තියයි. දිසාහාමුදුරුවොයි ඇවිත් හිටපු ලොකු ලොකු සේරම කට්ටියම කිව්වෙ එහෙමවත් කරන්න කියලයි. “බාගදා මේකෙන් මාත් මැරෙන්න පුළුවන් නැතිනම් අපි තුන්දෙනාම(ඇතා කදිරා සහ තමා) මැරෙන්න උනත් බැරි නෑ” කියල අලි ජේමිස් මාම කදිරව ලැහැත්ති කළා. ඒ කට මාත් උදව් වුනා. ඒ ක කළේ මෙහෙමයි. නැව් කඹ, වගෙ මහත ලණු, දං වැල් අරගෙන කදිරාගෙ බඩ යටින් එල්ලෙන්න ඔන්චිල්ලාවක් වගේ හෙල්ලෙන් නැති මැස්සක් හැදුව. ඒකෙ තමයි අලි ජේමිස් මාම හිටියෙ හෙන්ඩුව, හෙල්ල, උල් පිහිය හෙම අරගෙන. කදිරාගේ තල්ල යටින් රිංගල ඇතාට ඇණල මෙල්ල කරන්නි බලා පොරොත්තුව.ඒ විදිහට ඕන්න ආයෙත් කදිර ගාල ඇතුලට දක්කගෙන ගිහා. අර ඇතා ගහද්දිත් කදිරා අලි ජේමිස් මාම කියන විදිහට ඇතා ළඟටම ගියා. තුවක්කු කාරයො ගෙන්නල තිබුණෙ හදිස්සියක් උනොත් වෙඩිතියන්නයි. ටිකක් වෙලා යනකං ඇතුලෙ යුද්දෙ වාගෙ. ටිකකින් ඇතා වැටුන. අලිජේමිස් මාම මරු නිලේට ඇණල අලිය මෙල්ල කරනවත් එක්කමයි.
වෙඩික්කාරයො කලබල වෙලා වෙඩි තියල තියෙන්නෙ. මාම බැනගෙන දොස් කියාගෙන තමයි එළියට ආවෙ. “අපරාදෙ ඇතා මැරුණෙ” කියාගෙන. ඇතා මැරුණෙ මරු නිලේට ඇන්න නිසාද වෙඩි තිවුව නිසා ද කියල දන්නෙ දෙයියො තමයි. අපි ආපහු ආව අලිජේමිස් මාමට තෑගිත් හම්බ වුනා. ඒත් ඊට පස්සෙ මාම හිටියෙ සන්තෝසෙන් නෙවෙයි. කියලයි මට මතක. ඒ පනාමුරේ ඇතා ගැන තමයි ඔය සින්දුව හදල තියෙන්නෙ. රටම කලබල වෙලා තිබුණ හින්ද මේ දවසේ පුරාම සෙනග ඇත්ගාල වටේම ඇවිත් හිටිය.
පසු සටහන
අලිජෙමිස් යනු උග්ගල් අලුත්නුවර කලකට පෙර සිටි බව පැවසෙන අලි ඇතුන් මෙල්ල කිරීමට මනා නිපුණත්වයක් තිබූ අයෙක් බව පැවසේ. එයා ඒ ඉගෙනුම ලබා ගත්තෙ කොහෙන්ද යනු සෙවිය නොහැකිවිය. කතාව පැවසූ අයද කුඩා ගැටවු අවදිය නිසා එවැනි විස්තර ලැබිය නොහැකිවිය.පසු කලක සිටි අලි ඇතුන් මෙල්ල කළ වරකවෙලේ තේගිස් මහත්මා අව්සධහාමි මහතා වැනි අය ඔහුගෙන් ඉගෙනුම ලැබුවෝ වෙති. ඔවුහු ද විශිෂ්ට සමත් කම් දැක්වූ අය වූහ. අය. අලි ඇතුන්ගේ අසනීප වලදී විවිධ ප්‍රතිකාර ද දැන සිටි ඔවුහු ඒ අතින්ද සමතුන් වූ බව ලේඛකයාගේද අත්දැකීම වේ. පෙරහර දිනයනහි පිටින් ගෙනා ලි ඇතුනට පවා වෙදකම් කළේ පිටස්තරයන්ට වඩා දක්ෂ ආකාරයෙනි. පෙරහරට ගමට ගේන ඕන අලියෙක් හෝ ඇතෙක් වුවද මෙල්ල කරන්න ට ඒ අය සත් වූහ. ඒ නිසාම ඒ ඇත්ගොව්වන් පවා මේ අයගෙ මිතුරන්ව සිටියහ.. පිටින් ගේන අලි ඇත්තු මද කිපී අකීකරු වු විට උන්ව මෙල්ල කර ගස් බදින්න උදව් කරන ලද්දේ ද මේ අය විසිනි. පෙරහරෙදි කිසිවකුට අලින් ගැන බියක් නොගෙන සිටීමට විශ්වාසය ඇති වූයේද මේ අය නිසා බව පෙනේ. බස්නායක නිළමේවරුද එය පිළිගෙන කටයුතු කළහ. පෙරහරට පැමිණෙන හැම අලි ඇතෙක්ම පෙරහරේ ගෙන යෑමට හැකි නොහැකි බවට සහතික කළේද මේ අය විසිනි
No comments:
Post a Comment